ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ බොරුව ඇත්ත කිරීම

ඉස්සසෙල්ල ම කියන්න තියෙන්නේ මේ ලියවිල්ල ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන වගේ ම ඒ ගැන නොවෙන බවයි. මුලින් ම අපිට කොහොම ද ගෝලීය උෂ්ණත්වය ඉහළයාම දැනෙන්නෙ? අපිට දරා ගන්න බැරි තරම් දාඩිය දාන කොට ද? හිටපු ගමන් රෑට කොළඹ, නුවරඑළියේ වගේ හීතල වෙන කොට ද? නුවරඑළියේ ගියත් කොළඹ හිටියා වගේ ම දැනෙන කොට ද? කුඹුරැවලට ඉස්සර වගේ වැස්ස ලැබෙන්නෙ නැති හින්ද ද? එළවළු, පළතුරු ගණං යන කොට ද? තනි තනියෙන් දැනෙන මේ වගේ දේවල් ගෝලීය උෂ්ණත්වයට ඈඳන්න කැමති අය ඕනැ තරං ඉන්නවා. හැබැයි අපිට ගෝලීය උෂ්ණත්වය ඉහළයාම දැනෙන හරි ම විදිහ මේක නෙවෙයි. ඉස්කෝලේ පාඩම්වල, වාද විවාද තරගවලදි, විද්‍යා ප්‍රදර්ශනවලදි, පත්තරවල විද්‍යා තොරතුරැ පිටුවල, වැඩකරන ආයතනයේ ප්‍රතිපත්තිමාලාවල, බඩු ගන්න ගියහම ඒ ඒ ඇසුරුම්වල ඇති පරිසරහිතකාමීත්වය පිළිබඳ සටහන් කියවද්දි, ඇමතිවරු, රාජ්‍ය නායකයෝ සම්මේලනවලට යද්දි, ඇමරිකාව චීනයට තර්ජනය කරද්දි, බටහිර රටවල් අනෙක් රටවල ඉන්ධන සම්පත්වලට නීති ගේන කොට ආදියේ දි තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අපිට හරියට ම දැනෙන්නෙ. මේ විදිහට බැලුවහම ඇඟට වඩා හිතට දැනෙන, පහුගිය කාලේ ඉහළට ආපු කාලීන මාතෘකාවක් තමයි පහුගිය අවුරැදු සීය ඇතුළත අමුතු විදිහට ඉහළ ගියයි කියන ගෝලීය උෂ්ණත්වය. නමුත් මෑත අවුරැදු කිහිපය ඇතුළේ, දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කියන්නේ එක්කො හිතලුවක්,තොරතුරු වැරදියට ගැනීමක් නැත්නම් සැලසුම් සහගත පල් බොරුවක් බවත්, එහෙම දෙයක් තිබුණත් අපි ඒක ඇඟට ගත යුතු දෙයක් නොවන බවටත් කියන අදහස් විද්‍යාත්මක දත්ත එක්ක ම එළියට ආවා.


එක පැත්තකින් ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳ කතිකාව දැවැන්ත ව්‍යාපාරයක් වගේ ම නතර කරන්න බැරි බලවේගයක් වෙලා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ විපාක සෙවීම විශ්ව විද්‍යාලවල පර්යේෂණවලට විශාල අරමුදල් ලැබෙන මූලික විදිහක්. විකල්ප ඉන්ධන, සුළං මෝල් ආදිය පාවිච්චි කිරීමට කෙරෙන බල කිරීම් ඒ තාක්ෂණය පේටන්ට් කර ඇති, නිපදවන, විශේෂඥ ඥානය සපයන රටවලට ආදායම් ගලන මගක්. ඇති තරම් ස්වාභාවික ඉන්ධන භාවිතා කර පොහොසත් වූ රටවල් අනෙක් රටවල ස්වාභාවික ඉන්ධන භාවිතයට තහංචි ගේන, ණය කොන්දේසි පනවන, රට රටවලට ආනයන බදු පනවන, අන්තර්ජාතික වෙළඳාම සීමා කරන, කුහක සාධාරණීකරණයක්. තරඟකාරී භාණ්ඩ හෙළා දැකීමට, කුඩා කර්මාන්ත අඩපණ කර දැමීමට උලුප්පා දක්වන හේතුවක්. ඒ නිසාම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන ඇත්ත සහ එහි විපාක සෙවීම වෙනුවට ඒක පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙලා. සෑම දත්තයක් ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටත් ඒ සඳහා මිනිස් ක්‍රියාකාරකම් බලපාන බවටත් පෙන්වන සාධකයක් විදිහට හරවා ගත්තේ නැත්නම් මේ සම්බන්ධ ව්‍යාපෘතිවලට තව දුරටත් පැවැත්මක් නැහැ.

අනිත් පැත්තෙන් හරිතාගාර වායූන්ගෙන් සුළු ප්‍රතිශතයක් වෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම ඇත්තෙන් ම උණුසුම ඉහළ යාමට බල නොපාන බවත්, දත්ත මැනීමේ සහ රැස් කිරීමේ වැරදි ඇති බවත්, දීර්ඝ කාලීන උණුසුමේ දළ වැඩිවීම මානව කර්මාන්තවල ව්‍යාප්තිය සමග නොසැසඳෙන බවත්, මීට වඩා උණුසුම් යුගයක් මධ්‍යකාලීන යුගයේ පැවතුනු බවත්, මෑත අවුරැදු විස්ස ඇතුළත ගෝලීය උණුසම ස්ථාවරව පවතින බවත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා මානව ක්‍රියාකාරීත්වය හේතු නොවන බවත් සමහර විද්‍යා විචාරකයින් කියනවා. නමුත් ගෝලීය උණුසුම වැඩිවීම හෝ ඒ සඳහා මිනිස් ක්‍රියාකාරීත්වයේ බලපෑම පිළි නොගැනීමට උදව් වෙන ව්‍යාපෘති සඳහා විශාල කර්මාන්ත, තෙල් ළිං හිමියන්, අනතුරැදායක රසායන නිෂ්පාදන සමාගම් ආදිය බිලියන ගණනින් මුදල් යොදවන බව අද විවෘත කාරණාවක්. දෙපැත්තෙන් ම විද්‍යාත්මක දත්ත අර්ථ දක්වනවා වගේ ම ඒත්තු යන සුළු තර්ක ඉදිරිපත් වෙනවා. නමුත් අපිට වැදගත්වෙන කරැණ මෙතන කවුද හරි කියන එකට වඩා, මේ විවාදයට යටින් එළියට එන ගෝලීය උෂ්ණත්වයට වැඩිය උණුසුම් වෙනත් දෙයක් තියෙනවද කියල බලන එක. පුද්ගලිකව නොදැනෙන දෙයක් ගැන, මතයක් බාර ගන්න, මතයක් හදාගන්න අපිට තියෙන පාරවල් මොනවද කියල හොයා ගන්න එක.

ඉස්සරනම් මේ වගේ දේවල් විද්‍යාඥයො කියනවයි කිව්වහම හොඳට ම ඇති අපිට පිළිගන්න. මෑත කාලේ අපි විද්‍යාඥයො කියන එක විතරක් නෙමෙයි කිසි ම අධිකාරී බලයක් තියෙනවයි කියන කෙනෙක් කියන දෙයක් ඉස්සර වගේ පිළිගන්නෙ නැහැ. එහෙම නැත්නම් අපි විද්‍යාඥයො කියනවයි කියල 'අපිට කියන' අයව (යාළුවො, වැඩිහිටියෝ, ගුරුවරු, මාධ්‍ය, දේශපාලකයෝ) පිළිගන්නෙ නැහැ. ඒ වගේ ම හැම මතයක් ම අරමුණක් එක්ක බැඳිල තියෙනවා කියල දැන් අපි හිතනවා. සල්ලි දෙනව නම්, වාසියක් තියෙනව නම් ඕනෑම අදහසක් බාර ගන්නත්, පතුරවන්නත් ඕනැ තරම් අය ඉන්නව කියලත් අපි හිතනවා. ඉස්සර වගේ සමාජ සදාචාරය, ආගමික හික්මීම, පුද්ගලික අවංකත්වය වගේ දේවල් ගැන අද විශ්වාසය තියන්න බැහැ කියලත් අපි හිතනවා.

ඒ වගේ ම, අද අදහස් පැතිරෙන විදිහත් වෙනස් වෙලා තියෙනවා. යම් කාලෙකට ඉස්සෙල්ල අදහස් මාරැවුනේ එකක් පිටිපස්සෙ එකක්. එහෙම අදහස් මාරැවෙන කොට එක් අදහසක් එක්ක බැඳිල තියෙන තවත් අදහස් පද්ධතියක් නාය යනවා (paradigm shift). ඒවා යට කරගෙන අලුතින් එන අදහස් ඒ වගේ ම තවත් එකිනෙක බැඳුණු වෙනත් අදහස් පද්ධතියකින් සුණු විසුණු කරල දානකං, හැම තැනකට ම කාවැදිල පැළපදියම් වෙනවා. දැන් කාලේ අලුත් තොරතුරැ බෙදා ගන්න ක්‍රමවේද සහ තාක්ෂණය නිසා මේ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. තියෙන පරණ අදහස්, අලුත් අදහස්, මේ දෙකේ ම සංකලන එකට පැටලෙනවා. එකක් යටකරගෙන අනික එළියට එනකොට ඒක තව අදහසකින් වට්ටල දානවා. හද්ද පරණ අදහස් කියල හොඳට දන්න දේවල් දැන් පටන් ගත්ත වගේ එළි බහිනව. ඒ වගේ ම කවදාවත් ඉඩක් ලැබෙයි කියල නො හිතෙන අදහස් කැරකිලා කැරකිලා ඉහළට ම එනවා. කෙනෙක් කියන දේට අපි කැමති නම්, එයාව පෙර හේතුවක් නැතුව ම අධිකාරීබලයක් විදිහට අපි පිළිගන්නවා. අපි අදහසකට කැමති වෙන්න ඒ අදහස ඉදිරිපත් කරන විදිහ, අලංකාර, පවතින රැල්ල, රැල්ලට විරුද්ධ වීම, අපේ අවධානය පවතින තැන වගේ යම් මෙහොතකට අදාල කාරණා ගොඩක් බලපාන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි අද අපිට අපි කැමති අයව එක රැයකින් දිව්‍යලෝකෙට ගෙනියන්නත්, අපායට ඇදල දාන්නත් පුළුවන්. ඒ නිසා අපි තොරතුරැ පිළිගන්න විදිහ, බල අධිකාරී හදන විදිහ බැලු බැල්මට ම ඉස්සරට වඩා ගොඩක් වෙනස්වෙලා තියෙනවා.

මේකෙ හොඳ නරක කොහොම වුනත් එක දෙයක් පැහැදිලි යි. කිසිම අදහසකට සජීවීව වෙනස්වීමකට භාජනය නොවී එක තැන පල් වෙවී ඉන්න නම් ඉඩක් නැහැ. පාරම්පරික හේතු, අධ්‍යාපන මට්ටම්, සමාජ මට්ටම් වගේ දේවල් තව දුරටත් අදහස්වලට බලයක් ලබා දෙන්නෙ නැහැ. විද්‍යාත්මක මත කියන දේ සහ ඒවා ගැන අරුත් දැක්වීම් කොච්චර ඉහළ තැනකින් ආවත් ඒවා ඉස්සර වගේ පිළිගන්න එක නුවණට හුරුත් නෑ. ඒවායේ දිශානති ලාභ සඳහා වෙනස් කරන ක්‍රමයක දී, සම්ප්‍රදායික ආචාර ධර්ම අතුරැදහන්වෙලා තියෙද්දි, අපි ඒවාට ප්‍රතිචාර දක්වන විදිහත් වෙනස් කර ගන්න වෙලා තියෙනවා; ආචාර ධර්ම හැදෙන අලුත් පදනම් ගොඩ නගන්න වෙලා තියෙනවා.

අලුත් තත්ව යටතේ, එක බලවේගයක් ගොඩ නැගීගෙන එනකොට ඒකට විරැද්ධ බලවේගයත් ශක්තිමත් වෙන එක හරි වැදගත්. නිදසුනක් විදිහට ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳ කතිකාව ගනිමු. දැන් ඒකට විරුද්ධව ගොඩ නැගෙන කතිකාව නිසා ගෝලීය උණුසුම ගැන කෙරෙන සෑම පරීක්ෂණයක ම අතිශය නිරවද්‍යබව සහතික කර ගන්න එක මූලික අවශ්‍යතාවයක් වෙලා. හැම පැත්තකින් ම එන්න පුළුවන් තර්ක ගැන කිරල මැනල බලන්න, ආවර්ජනය කරන්න වෙලා. ඊට විරුද්ධ බලවේගත්, තමන්ට අරමුදල් එන තැන් ගැන හැමෝ ම දන්න නිසා ම, තමන්ගේ තර්කවල වාසි යන තැන ගැන දැනුවත් නිසා ම, මතුපිටින් කරන තර්කවලින් තම විශ්වාසනීයත්වය කෙළෙසීමට ඉඩ තියෙන බව දන්නවා. ඒ නිසා සෑම දත්තයක ම හැම පැත්තක් ම ශක්තිමත් වෙනවා. මේවා පිළිබඳ අපේ අදහස හදාගන්න අපිටත් හැම දෙයක් ගැනම දැන ගන්න, පුළුවන් තරම් තොරතුරු එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. හැම මොහොතක ම වෙන වෙනස්වීම් ගැන සංවේදී වෙන්න වෙනවා. නමුත් මේක මෙතනින් ඉවරවෙන සරල දෙයක් නෙමෙයි. කරුණුවලට වැඩිය, පවතින රැල්ල, අලංකාර, සහ නිර්මාණශීලී ඉදිරිපත්කිරීම් ආකර්ශණීය නිසා ම, වැඩියෙන් සම්පත් (මුදල්, කාලය, දැනුම, අත්දැකීම්, තාක්ෂණය, ප්‍රතිභාව, පිරිස් බලය, පහසුකම්, සම්බන්ධතා) තියෙන පැත්ත ඉදිරියට එන්න පුළුවන්. මේ වගේ වෙලාවලදි හරි තොරතුරැ මතු කරන්න ඕන නම්, විශේෂයෙන් සම්පත් අඩු පැත්ත ගැන දැනුවත්ව උනන්දුවීම කළ යුතු ම දෙයක්. ඉහළට එන පැත්ත වඩාත් නිරවද්‍ය කරගන්න, සංවේදී කරගන්න, ස්වයං විචාරයට අහු කර ගන්න නම්, දිනන පැත්තට වඩා යටවෙන පැත්ත යට වෙන්නේ මොන හේතු යටතේ ද, මොන තත්ව යටතේ ද කියන එක හිතන එකත්, යට වෙන පැත්තේ අදහස්වල තියෙන සුළු හරි වැදගත් දෙයක් මතුකරන එකත්, දිනන අදහස් එක්ක ගැටෙන්න ඉඩ හදන එකත් කළ යුතු ම දෙයක්. මේ වගේ පසුබිමක මැදහත්ව ඉඳීම කියන්නේ අනිවාර්යයෙන් ම දිනන පැත්තට සහයෝගය දීම. ඒ නිසා ඕනැ ම වෙලාවක දි යටවෙන බලවේගය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රගතිශීලියි කියල තාමත් කියන්න පුළුවන්.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...