බටහිර අදහස් සහ පෙරදිග අදහස්

ජීවිතය, වටපිටාව, අදහස්, කලාව, නිර්මාණශීලීත්වය, ලිවීම වගේ දේ ගැන අදහස් දැක්වීම ඈත අතීතයේ ඉඳන් ම සිද්ද වෙන්න ඇති වුනත්, අද අපි දන්න තොරතුරු එකතු වෙන්න ගන්නේ 16 වන ශතවසරේ පමණ සිට බටහිර ඇති වූ පුනරැදයත් එක්ක. සාමාන්‍යයෙන් මේ පුනරැදයට හේතුව හැටියට පේන්නේ පල්ලියේ සහ රජ පෙළපත්වල දැඩි සීමාකාරී පාලනයට විරැද්ධවීමට, ඊට යටින් සිටි රදළ සහ වෙළඳ ප්‍රජාවට ඇති වූ උවමනාව. මේ දරදඬු පාලනයෙන් මිදෙන්න නම් සම්පත් අත්පත් කර ගැනීම වගේ ම, එහෙම අත්පත් කර ගැනීමක් සාධාරණය කළ හැකි නව අදහස් සහ තර්කනයක් අවශ්‍ය ම වුනා. පුනරුදයේ මුල් කාලෙ දි විද්‍යාව, කලාව ආදිය ඉගෙන ගැනීම අද වගේ සංවිධානය වෙලා නො තිබුණු නිසා, දර්ශනවාදීන් තමයි සෑම විෂයයක් ගැන ම වාද විවාද පටන් ගත්තෙ. බටහිර දර්ශනවාදීන්, පල්ලියට සහ රජ පෙළපත්වලට උදව් කළ සමකාලීන දේවවාදී අදහස් වෙනුවට, යටපත් වෙලා තිබුණු ග්‍රීක දර්ශනවාදය මතු කර ගත්තා. ඒ අය ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගෙ නිදහස් අදහස් ගැනත්, තෝමස් ඇක්වයිනාස්ගේ ග්‍රීක දර්ශනය ගැන පැහැදිලි කිරීම් ගැනත් වාද විවාද සහ අරුත් දැක්වීම් පටන් ගත්තා. අලුත් අදහස් වැඩිපුර ම ගොඩ නැගුනේ ග්‍රීක සහ සමකාලීන අදහස්වලට විවේචන සහ වැඩි දියුණු කිරීම් විදිහට. පුනරුදයත් එක්ක ම, භාෂා අතර ගනුදෙනුව, දේශාටනය, යටත්විජිතකරණය, ආක්‍රමණ ආදිය නිසා බටහිර සංවාදය සමස්තයක් හැටියට සංවිධානය වුනා වගේ ම, පැතිරිලාත් ගියා.

කොහොම වුනත් සංවිධාන ගත වීම නිසා ම බටහිර සංවාදයේ අදහස්වල මටසිළුටු තැන් සමහරවිට වඩා රළු කාණ්ඩවලට වෙන් වුනා. මතවාද බලවත් වීමත් සහ ඒවා අතර අරගලය තරඟකාරීවීමත් එක්ක, සීයක්, දහයක්, පහක් වෙනුවට, සාමාන්‍යයෙන් අදහස් වෙන්වුනේ ප්‍රධාන කොටස් දෙකකට. අවධානය යොමු වුනේ ප්‍රධාන සංවාදවලට නිසා, විසංවාද කොන් වුනා වගේ ම, විකල්පවලට ලැබෙන තැන අඩු වුනා. මේ අතරේ මධ්‍යකාලීන යුගයට කලින් ඉඳන් ම පෙරදිගත් මේ විෂයයන් පිළිබඳ සංවාද ඇති වෙලා තිබුණා. ඒත් විවිධ භාෂා අතර ගනුදෙනු අඩුවීමත් උගතුන් බොහෝවිට හුදකලා ගුරුකුල හැටියට ඉගෙනීම් කිරීමත් නිසා පෙරදිග සංවාදය පැවතුනේ තැනින් තැන, කඩින් කඩ. ඉතාම සියුම් තැන්, තැනින් තැන, රසවත් විදිහට පෙරදිග සංවාදයේ මතුවුනත්, නැවත නැවත එකම දේ විවිධ ආකාරවලින් මතුවීමත්, ඉදිරියට ගෙනියන බල කඳවුරැ නැති වීමත්, සමස්තයක් හැටියට ප්‍රගමනයේ සිතියම දකින්න නො ලැබීමත්, ක්‍රම වේදය අපැහැදිලිවීමත් පෙරදිග සංවාදවල ලක්ෂණයක්. මේ නිසා හුඟක් වෙලාවට ක්‍රමානුකූල ඉගෙනීමක දී බටහිර සංවාද සහ ක්‍රමවේදය නිතර ම ඉස්මතු වෙනවා.

නමුත් බටහිර සංවාදයේ ම උදව්වෙන් නූතන විද්‍යාවේ සහ සංනිවේදන පහසුකම්වල සිදු වූ විප්ලවයත්, ලෝක මට්ටමෙන් සම්පත් කළමණාකරනය වීමත්, දැනුම සහ ඒවා පැතිරීමේ මාර්ග නිදහස් වීමත් එක්ක ඉස්සරට වඩා බටහිර සහ පෙරදිග සංවාද අතර ගනුදෙනුවත්, විකල්පවලට ඇති තැනත් අද වැඩි වෙලා තියෙනවා. එහෙම බැලුවහම අද සිද්ද වෙන අදහස් ගනුදෙනු බටහිර ද පෙරදිග ද කියල වෙන්කරන්න පුළුවන් එකක් නෙමෙයි. පෙරදිග ඉපදුනු අය බටහිරට ගිහිල්ල ඉන්නවා; බටහිර අදහස් සහ තාක්ෂණය පෙරදිගට ගෙනිහිල්ල තියෙනව; පෙරදිග අදහස් බටහිර තාක්ෂණය දිගේ ඉදිරියට එනව. සමහරවිට අපේ අදහස් පරිණාමයට පත් වෙන්නෙ ම මේ වගේ කාලයෙන් කාලයට එක් එක් විකල්ප ශක්තිමත් වීමෙන් සහ ඒවා ඇතුළෙන් ම එන විචාරයෙන්. ඒ නිසා පෙරදිගයි බටහිරයි වෙන වෙන ම ඇති වුන සංවාද එකතුවෙලා ඒවා එකිනෙකින් පෝෂණය වීමත්, ඒවා ඊලඟ මට්ටමට ගොඩ නැගීමත් තමයි දැන් මේ වෙන්නෙ. ඒකට උදව්වක් හැටියට හැම රසවත් මාතෘකාවක් ගැන ම අලුත් තත්ව එක්ක ආවර්ජනයක් කරන එක අත්‍යවශ්‍ය ම දෙයක්. ඉදිරියෙ දි අපි මේ ගැන තවත් කතා කරමු...

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...