නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?


චිත්‍ර කලාව, සංගීතය, නව කතාව, කෙටි කතාව, නාට්‍ය කලාව එක්ක සසඳද්දි, සමහර අයට සිනමාව අනෙක් කලාවන්ට වඩා දැනෙනවා. චිත්‍රපටි බලන්නෙත් නැති අය සමහර වෙලාවට සිනමාවට ආදරෙයි. සිනමාව මේ කලා පෙළේ අලුත් ම කලාව වීම, අනෙක් කලාවන් සමග ලිහා ගත නො හැකි විදිහට ම පැටලී තිබීම, නළු නළියෝ, සිනමාකාරයෝ වටේ ගොඩනගන රැස් වළල්ල, කලාවක් වගේ ම සංවිධිත කර්මාන්තයක් වීම, ඉවරයක් නැති මාධ්‍ය ආවරණය ආදිය මීට හේතු වෙනවා ඇති. ඒත් සිත් වසඟ කරවන, ජීවිත දැක්ම වෙනස් කරවන, ඇලෙන ගැලෙන ඇබ්බැහි කරවන, තමන්ට ම ආවේණික මායාකාරී ගුණයක් සිනමාවට ඇත්තට ම තියනවද? එහෙම තියෙනව නම් ඒක ලබා ගන්න පුළුවන් සිනමාශාලාවේදි විතර ද? නැත්නම් සිනමාවට ම ආවේණික සුවිශේෂී අනන්‍යතා ගුණයක් ගැන අදහස් අපේ අතීතකාමය ගොඩනගන මායාවක් ද? වෙනත් කලාවන් සහ මාධ්‍ය සමග සිනමාව කරන ගනුදෙනුව මොකක් ද? සිනමාව සහ සැබෑ ලෝකය අතර සම්බන්ධය මොකක් ද? අලුත් තත්ව යටතේ සිනමාව තව දුරටත් පවතිනවද නැද්ද? සිනමාව කතා කිව යුතු ද නැද්ද? මේ වෙලාවෙ දේශීය සහ ලෝක මට්ටමේ සිනමා සංවාදවල පෙරමුණේ තියෙන මාතෘකා තමයි මේවා. එහෙම නැත්නම් වෙනත් තැනකින් ඇරඹෙන සංවාද දැන හෝ නො දැන අන්තිමට මේ මාතෘකා වලට ඇදිල එනවා.


මේ විමසුම්වලට සිනමාවේ ඇරඹුමේ සිට ම නොයෙක් පිළිතුරු සපයුනත්, කාලයෙන් කාලයට මේ පිළිතුරු පිළිසකර කෙරෙනවා; පුදුම හිතෙන තරම් නිර්මාණශීලී සහ අලුත් උත්තර පරණ උත්තර ආක්‍රමණය කරනවා; සමහරවිට පරණ උත්තර ම ආදරයෙන් යළි කැඳවනවා. මේ ගනුදෙනුව අපි කැමති වුනත් නැතත් සංස්කෘතිය පිළිබඳ අපේ දැනුම වෙනස්වෙන විදිහ එක්ක සම්බන්ධ යි. අපේ සංස්කෘතික දැනුම සහ ඒ ගැන නො නවතින විචාරය සිනමාව ගැන දැනුමට බලපානව වගේ ම, සිනමා විෂය එක්ක ඇතුලතින් ම බැඳුනු එයින්ම ජනිතවන සංවාදය අපේ සමස්ත සංස්කෘතික දැනුම වෙනස් කිරීමටත් බලපානවා. 

අපි සිනමාව ගැන නිශ්චිත දෙයක් විදිහට කතා කළත්, සිනමාව කියන්නෙ මොකක්ද කියන කාරණාව නිරන්තර විමසුමකට ලක් කළ යුතු බව පැහැදිලි යි. සිනමාවේ අනවරත වෙනස් වීම්, කඩ ඉම්, නැවතුම්, පෙරළි, සාපේක්ෂ විපරීතතා, රූපාන්තරණ ආදිය සිනමාව මොකක්ද කියල අලුතින් ම තීරණය කරනවා. ඒ වගේම සිනමාවෙන් පිටත වෙන තාක්ෂණික, සෞන්දර්යාත්මක, සාමාජික, දේශපාලනික පෙරළි, සිනමාව කියන දේ සහ කියන විදිහ (අන්තර්ගතය සහ ආකෘතිය, නැත්නම් ප්‍රකාශනය සහ ක්‍රමවේදය) වෙනස් කරනවා. නිදසුනක් විදිහට අද ඩිජිටල් හෙවත් අංකිත තාක්ෂණය එක්ක රූප, හඬ, ස්පර්ශ සහ ඒවා අතර අන්තර්සම්බන්ධය හැසිරවීම සහ සංනිවේදනය පහසු කර ඇති විදිහ සිනමාවේ සීමා මායිම්වලට තදින් ම බල පාල තියෙනවා. මුලින් ම නිහඬ චලන රූපයට හඬ එකතු කළ විස්සේ දශකයේදීත්, රූපවාහිනී විකාශන පැතිරී ගිය පනහේ දශකයේදීත්, වීඩියෝපට නිකුත් වූ හැත්තෑවේ දශකයේදීත්, අංකිත තාක්ෂණය පැතිරී ගිය අනූවේ දශකයේදීත්, සිනමාවේ නියත අවසානය පිළිබඳ අනාවැකි ඇති තරම් පළ වුනා. අන්තර්ජාලයෙන් එන වීඩියෝ හෝ සිනමාශාලා වැසී යාම සිනමාවේ අවසානය සටහන් කරයි ද යන විමතියත්, එහෙම නැත්නම් සිනමාවේ නව ස්වරූපය කුඩා තිර වීඩියෝ ද කියලත් අද නිතර ම කතා කරනවා. නමුත් එදා මෙදා තුර අපි සිනමාව යන්නෙන් ඇත්තෙන් ම අදහස් කරන්නෙ මොකක් ද කියල මතු කිරීම මේ සංවාදය ඉදිරියට ගෙනියන්න හොඳ විදිහක්.

චලන රූප මාධ්‍යයවල අනන්‍යතාවය තියෙන මූලික ආකාර දෙකක් තමයි ඒවා පෙන්නන හෝ බලන විදිහ සහ හදන විදිහ. අද වෙනකොට සිනමාව, රූපවාහිනිය සහ අන්තර්ජාල වීඩියෝ එකිනෙකට වෙනස් අනන්‍යතා නොතකා නොයෙක් විදිහට හදන්නත්, නොයෙක් විදියට පෙන්නන්නත් පුළුවන්. නිදසුනක් විදියට අද අංකිත තාක්ෂණය මේ ඕනෑම මාධ්‍යයක් සඳහා යොදා ගන්නවා; දළ සිනමාපටවල රූගත කළ චලන රූප රූපවාහිනියටත්, අන්තර්ජාලයටත් ගැලපෙන විදිහට නිමවා ගන්න පුළුවන්; සිනමා නිර්මාණ අන්තර්ජාලයෙන් හරි රූපවාහිනියෙන් හරි ගෙන යන්නත් පුළුවන්; ඒ වගේම අවශ්‍ය නම් රූපවාහිනී වැඩසටහනක් හරි ජංගම දුරකථනයෙන් රූගත කළ වීඩියෝවක් හරි සිනමාශාලාවක ප්‍රදර්ශනය කරන්නත් පුළුවන්. හැබැයි පෙන්නන දේ නොතකා මේ එක් එක් මාධ්‍යය එක්ක අපේ ගනුදෙනුවෙන් ලැබෙන අත්දැකීම වෙනස්. සාමාන්‍යයෙන් අපි රූපවාහිනිය බලන්නේ සාලයක් මැද කණ්ඩායමක් වශයෙන්, සමහරවිට අදහස් හුවමාරු කර ගනිමින්. තිරය සාමාන්‍යයෙන් ඒක තියෙල තියෙන පසුබිමත් එක්ක සමස්තයෙන් කොටසක් විතරයි. මේ නිසා රූපවාහිනිය සඳහා එකඟ කර ගත් අවධානයක් බොහෝවිට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ම රූපවාහිනිය යැපෙන්නෙ වෙළඳ හෝ රාජ්‍ය ආයතන අනුග්‍රහය මත යි. මේ හැම දෙයක් ම රූපවාහිනිය වෙනුවෙන් නිපදවන වැඩසටහන්වල ස්වභාවය මොන වගේද කියල තීරණය කරන බලගතු හේතු. කෙටි කාලයක් තුළ සහ කොටස් ලෙස විකාශය වීම, ප්‍රසාංගික බව ඉස්මතු කිරීම, අවධානය සඳහා තරඟ කිරීම, පොදු ප්‍රේක්ෂකයා ඉලක්ක කිරීම වගේ දේවල් රූපවාහිනියේ ආකෘතියට ම ආවේණික ලක්ෂණ. නමුත් බොහෝ වෙලාවට අන්තර්ජාල වීඩියෝ (යූටියුබ් වැනි) අපිට එන්නේ අතිශය පුද්ගලික අවකාශයක. මේ අන්තර්ජාල අවකාශය තොරතුරු සහ විකල්ප පිරුණු, නිදහස්, ඒ නිසා ම ඉතාමත් තරඟකාරී අවකාශයක්; දිගු කාලයක් පුරා පැතිරෙන එකඟ කර ගත් අවධානයක් අන්තර්ජාල වීඩියෝවකට ලැබීමේ අවස්ථාව ඉතාම අඩු යි. කෙටි විකාශන කාලයක් ඉලක්ක කිරීම, වේගයෙන් බාගත කිරීමට හැකි වීම, ඉතා කුඩා තිරයක් සඳහා පෙන්නන දේ සහ අවධාරණය සංවිධානය කිරීම, අවධානය සඳහා තරඟ කිරීම, සියුම්බව සහ සූක්ෂමත්වය රූපයෙන් සහ හඬින් වෙනුවට උපමාවලින් සහ අලංකාරවලින් ගෙන ඒම වගේ දේ අන්තර්ජාල වීඩියෝවල ලක්ෂණ. ඒ වගේ ම ඕනෑම සුවිශේෂී ප්‍රේක්ෂකාගාරයකට අඩු වියදමකින් සහ බාහිර වාරණයකින් තොරව ලඟා වෙන්නත් ඒවාට පුළුවන්. අන්තර්ජාලයෙන් එන රූපාවලියක ගතිගුණ වගේ ම ඒවා එක්ක අපේ ගනුදෙනුවත් මේ දේවල් මත තීරණාත්මකව හැඩ ගැහෙනවා.

ඒ වගේ ම සිනමාව එක්ක අපේ ගනුදෙනුවටත් ඊට ම ආවේණික ආකෘතියක් තියෙනවා. බැලු බැල්මට මේ අකෘතිය සීමාකාරී එකක් වගේ පෙනුනත්, එයත් එයට ම ආවේණික විදිහකින් අපව බල ගන්වනවා. මුලින් ම සිනමා තිරය අපේ ශාරීරික නිදහස සාපේක්ෂව තම අණසකට ගන්නවා. ශාලාව අඳුරුවීමත්, තිරය දැවැන්ත වීමත් නිසා අපේ කය අසරණ වෙනවා; සිත පිබිදෙනවා. සිනමා ශාලාවට ඇතුල්වීමට ගන්නා තීරණයත් එක්ක අපි සිනමාව සමග අවිඥානික ගිවිසුමකට එළඹෙනවා වගේ ම එයින් එක්තරා අධිකාරියක් සිනමාව වෙත පවරා දෙනවා. අප කෙරෙහි බලපවත්වන ඒ අධිකාරියට අපි කැමැත්තෙන් යටහත් වෙනවා. සිනමාව අපිට වඩා දැවැන්ත දෙයක් යන අදහසටත් සමහරවිට මේ පසුබිම බලපානවා ඇති. නමුත් මේ යටහත් වීම අපිට ආශ්වාදනීය නැත්නම්, ශාලාවෙන් නික්ම යාමෙන්, ගිවිසුම අත් හිටවීමටත් අපිට පුළුවන්. මේ ආකෘතිය සිනමාවේ අංකුර ආකාර වූ කිනෙටොස්කෝප් සහ මුටොස්කොප් ආදී රූපදක්නවලත් දකින්න තියෙනවා. නරඹන්නා කාචයට ඇස තබන විට ම, එය සැබෑ ලෝකයෙන් වියුක්ත, අඳුරු පසුබිමක දිස්වන, සාපේක්ෂව සහ සංකල්පීයව දැවැන්ත, චලන රූපාවලියකට සමස්ත අවධානය ම පවරා දීමට එළඹෙන ගිවිසුමක්; එයින් ඇස ඉවත් කරන මොහොතේ එම ගිවිසුම අත් හිටවෙනවා. එම නිසා මාධ්‍යයක් වශයෙන් සිනමාවේ අනන්‍යතාව තීරණය කරන්නේ යම් කිසි තීරණාත්මක කාලයක් පුරා බාහිර ලෝකයෙන් වියුක්තව, රූපය සහ හඬ වෙනුවෙන් අපේ සමස්ත අවධානය ඉල්ලා සිටීමයි කියන එක හොඳ යෝජනාවක්. කලින් සඳහන් කළ අඳුරු කළ සිනමා ශාලාවේ දැවැන්ත තිරය, අංකුර සිනමා උපකරණ, නූතන ගෘහස්ත සිනමා පද්ධති වගේම සංවෘත තිර සහිත ඇස් පළඳනා ආදිය මේ අනන්‍යතාවය අපට ලබා දෙන ක්‍රම වේද. කෙසේ වෙතත් මේ එක් එක් ආකාරවල හැකියාව සහ පරිපූර්ණවය ගැන කෙරෙන විවාදය වෙනුවෙනුත්, ඒවායේ පරිණාමයේ දිශාව තීරණය කිරීමටත් අපේ මේ සංවාදය වැදගත්.

එක් එක් ආකෘතියේ ලක්ෂණ අනුව ප්‍රේක්ෂකයා ඒ ඒ මාධ්‍යයත් එක්ක සම්බන්ධවෙන විදිහ වෙනස් කරනවා වගේ ම, ඒ ඒ මාධ්‍ය ඉලක්ක කර ගැනීම නිසා ම නිර්මාණකරුවාත් නිර්මාණයේ හැඩය, අන්තර්ගතය දැන හෝ නො දැන වෙනස් කරනවා. යම් කිසි තීරණාත්මක කාලයක් පුරා රූපය සහ හඬ වෙනුවෙන් අපේ සමස්ත අවධානය ඉල්ලා සිටීම සහ බාහිර ලෝකයෙන් අපේ අවධානය වියුක්ත කිරීම යන සිනමාවේ ආකෘතියත්, එවැනි ආකෘතියකට ම සරිලන අත්දැකීම්වලට ඉඩ සලසා දෙනවා. නිදසුනක් හැටියට, නිසල බව, නිසලත්වයේ ගතිකත්වය, මද වේගය, හිස්බව, වගේ ම වේගය, ව්‍යාකූලත්වය, ගැටුම, ජංජාලය ආදී ප්‍රපංච සිනමාවේ අපරිමිත තිරය මත හැසිරෙන විදිහ ඊට ම ආවේණික යි. සිනමාවේ මේ අකෘතිය සමහර විට තිරය සහ මනස අතර නොබිඳුණු දිගුවක් නිර්මාණය කර ගන්න උදව් කරනවා. ඒ වගේ ම රූපය, හඬ, කාලය, අත්දැකීම් සහ ඒවායේ අන්තර්සම්බන්ධයේ සියුම් තැන් විශ්ලේෂණයට සිනමාවේ සැබෑ විලාසයට විශේෂ හැකියාවක් තියෙනවා. වචනවලින් මිදුනු, රූපයේ සහ හඬෙහි ගැබ් වුනු සංකීර්ණතා මතු කිරීමට වගේ ම, වචන සහ රූපවල ගැටුමෙන් සහ මුසුවෙන් මතුවෙන අලුත් ප්‍රකාශන එළියට ගන්නත් සිනමාවට පුළුවන්. මේ නිසා සිනමාව සැබෑ ලෝකයට සමාන්තර හෝ සම්පූර්ණයෙන් ම වෙනස් විකල්ප යථාර්තයක් සමග ගනුදෙනු කිරීමට ප්‍රේක්ෂකයාට සහ සිනමාකරුවන්ට ලබා දෙන ඉඩ සහ ක්‍රමවේදයත් අති විශේෂ යි.

සිනමාවේ මේ ආකෘතිය පමණක් ම ප්‍රේක්ෂකයා සහ සිනමාකරැවා අතර ඇතිකරන සම්බන්ධය, එකිනෙකා කෙරෙහි දල්වන නොනිමෙන බලාපොරොත්තුව සහ ප්‍රකාශන හැකියාව ඉවත් කළොත් අපි සමහර විට එක්තරා සුවිශේෂී අත්දැකීමක් සපයන පරාසයක් සහ ක්‍රම වේදයක් අත හරිනවා. ඒ නිසා රූපවාහිනියෙන්, වීඩියෝ පටවලින්, කුඩාතිර වීඩියෝවලින් සිනමාව අමතක කර දැමීම සහ ඒවා සිනමාවේ නව ස්වරෑපය ලෙස ගැනීමත් වෙනුවට, සෑම ආකෘතියක් ම එකිනෙකින් පෝෂණය වීමට ඉඩ හැරීම සහ නව තත්වවලට සිනමාව එහි හරිම ස්වරූපයෙන් අනුගත කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්. අනික අලුත් මාධ්‍යයක් පවතින මාධ්‍යයකට විකල්පයක් විදිහට ගැනීම ම, එක් එක් මාධ්‍යයේ අනන්‍යතාවයට සහ පරිණාමයට බලෙන් පනවන සීමාවක්. ඒ වගේ ම, සිනමාවේ පූර්ණ අකෘතිය වෙනුවට වෙළඳ පොළ තත්ව යටතේ වෙනත් ආකෘති යෝජනා කිරීම, එක්තරා සංකීර්ණ විදිහකින් යම් යම් සංකීර්ණ තේමාවලට ගේන බරපතල වාරණයක්. ඒ නිසා අලුත් මාධ්‍ය අපිට ලබා දෙන නව ක්‍රම වේද, මාදිලි සහ නිදහස වගේ ම, සිනමාව අපිව හික්මවන භාවනාවත්, අපිව කළඹවන සුළි සුලඟත්, එයින් ම සිනමාව අපිට විවෘත කරන අනන්ත පරාසයත් අතීතකාමයට එහා ගිය දෙයක් හැටියට යෝජනා කරන්න පුළුවන්. අපි මේ ගැන ඉදිරියෙ දි තවත් කතා කරමු...

Comments

Popular posts from this blog

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...