විද්‍යාවත්, කලාවත්, ඉතිහාසයත් ප්‍රබන්ධයකි!

බැලු බැල්මට මේ වගේ මාතෘකා ප්‍රකෝපකාරී, අත්තනෝමතික, පදනම් විරහිත සහ නොමග යවන සුළු ඒවා විදිහට හිතන අය ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒවා අපිට එන්නෙ ලේසියෙන් තේරුම් ගන්න බැරි න්‍යාය සහ ඒවායේ අයිතිකාරයොත් එක්ක පටලැවිලා. හැබැයි න්‍යායවලට බැඳිල වගේ පේන දේවල් ඒ න්‍යායවලින් එළියෙ වුණත් කතා කරන්න පුළුවන්ද කියල බලන්නයි මේ හදන්නෙ. ඒක එක එක තැන්වලින් පටන් ගන්න පුළුවන් උනත් ඉස්සෙල්ල ම 'ප්‍රබන්ධය' කියන අදහස සංවාදයට ගන්න එක හොඳ දෙයක්. ඒකට මුල පිරිමක් හැටියට මානව සංස්කෘතිය කියන්නෙ ම ප්‍රබන්ධයක් කිව්වොත් මොකද හිතන්නේ? මානව සංස්කෘතිය කියන්නේ ප්‍රබන්ධයක් වගේ ම යථාර්ථයක් කිව්වොත්? බැලු බැල්මට මේ කරන්නෙ වචන එක්ක සෙල්ලම් කිරීමක් වගේ පෙනුනට, මේ වචන ඒවට අයිති හරි තැන්වලට දා ගන්න නම් මේ සෙල්ලම කරන්න ම ඕනෑ. විශේෂයෙන් ම කාලාන්තරයක් තිස්සේ මේ වචනවලට තිබුණු සම්ප්‍රදායික තේරුම් ආයෙත් අලුතෙන් හිතන වෙලාවක, ඒවට එකඟ වෙන්න හරි විරුද්ධ වෙන්න හරි අදහසක් තියෙන එක වැදගත්.

මුලින් ම අපි ප්‍රබන්ධය (fiction) කියන වචනෙ ගැන යම් කිසි අදහසක් හදා ගන්නෙ කොහොමද බලමු. නිතර ම එහෙම අදහසක් අපි පටන් ගන්නෙ ම, වචනයක් හෝ අදහසක් - ඒකත් එක්ක සම්බන්ධ අනිත් වචන හෝ අදහස් එක්ක සන්සන්දනය කිරීමෙන්. ඒ විදිහට බැලුවොත් ප්‍රබන්ධය කියන වචනෙ ලඟින් යන වචන තව ගොඩක් තියෙනවා: සිතුවිලි (thought), පරිකල්පනය (imagination), මනඃකල්පිතය (fantasy) වගේ. මේ වචන අතර වෙනස්කම් මතු කරන එක පස්සට තියල, ඒ හැම අදහසක් වෙනුවෙන් ම දැනට අපි ප්‍රබන්ධය කියන වචනෙ ගත්තොත්, සාමාන්‍යයෙන් අපි ප්‍රබන්ධය කියන අදහස ගොඩ නගන්නෙ ම යථාර්ථයට (reality) විරැද්ධ අදහසක් හැටියට: ප්‍රබන්ධය සහ යථාර්ථය. මේ සන්සන්දනය නැතුව සමහර විට මේ වචන දෙකෙන් එකක්වත් තේරැම් ගන්න බැහැ. සමහර අයට මේ වචන දෙක සම්පූර්ණයෙන් ම අන්ත දෙකක්; සමහර අයට මේ දෙක වෙන් කර ගන්න බැහැ වගේ ම, වෙන් කර ගන්න ඕනැත් නැහැ. මෙතන දි ඔබේ අදහස මොකක් වුනත්, මේ වචන එක එක අය ස්ථානගත කරන තැන් වෙනස් බව දැන ගැනීම වැදගත්. අපි වචන හදනකොට, වචන පාවිච්චි කරන කොට, දේවල්, අදහස්, සහ තේරුම් එකකින් එකක් වෙන් කිරීමෙන් ගැලවෙන්න බැහැ. සමහරවිට අපේ අදහස් වචනත් එක්ක අන්තවලට යාමෙන් ගැලවෙන්න පුළුවන් තව තව අතර මැද වචන හැදීමෙන් ම විතරයි. එහෙම නම් දැනට ප්‍රබන්ධය කියන්නේ යථාර්ථයට විරුද්ධ දේ. දෙක ම එකයි කියල කොච්චර හිතුවත් මෙතන වචන දෙකක් තියෙනකම් ඒ දෙක වෙන් වෙනවා. ඒ දෙක ම එකක් ද නැද්ද වගේ දේවල් කතා කරන්නත් ඒ වචන දෙක ඕනැ වෙනවා.

ඊලඟට මේ අන්ත දෙකට තරමක් අතට අහුවෙන තේරුමක් දෙන්න පුළුවන් කොහොම ද කියල බලමු. හැබැයි මේ සංවාදය ඉදිරියට ගෙනියන්න නම් එතනදිත් අපිට තව බෙදීමක් ගැන හිතන්න වෙනවා: සිතෙන් බාහිරව පවතින දේ සහ අපි හිතන දේ. මේ දෙක අතර සම්බන්ධතාවයත් එක එක අය තේරුම් ගන්න විදිහ වෙනස්; සමහරවිට හිත ගැන, බාහිර ලෝකය ගැන අපේ පරණ ම විවාදය එන්නෙත් මෙතැනින්. හැබැයි, එක එක්කෙනා කොහොම හිතුවත්, සාමාන්‍ය වහරෙදි අපි මේ දෙක දෙකක් විදිහට සලකනවා. දැනට ඒ විදියට ගත්තොත්, හිතෙන් නිර්මාණය කරන දේවල් ප්‍රබන්ධය විදිහටත්, හිතෙන් බාහිරව පවතින දේවල් යථාර්ථය කියලත් අපි වෙන් කරනවා. ඒ අරැතෙන් බැලුවහම හිතෙන් බාහිරව පවතින දේ ගැන වුණත්, හිතෙන් හිතෙන දේ ගැන වුණත්, 'අපි හිතන දේවල්' සහ 'කියන දේවල්' ප්‍රබන්ධ හැටියට තමයි සලකන්න වෙන්නෙ. කතාවක්, ලියවිල්ලක්, චිත්‍රයක් වගේ මොනව හරි මාධ්‍යයක් පාවිච්චි කරල අපි අපේ අදහස් එළි දක්වන කොට ඒ ප්‍රකාශනය බාහිරව පවතින දේ ගැන හරි, හිතන දේ ගැන හරි අපි කරන ප්‍රබන්ධයක්.

එහෙම බැලුවහම සියළුම මානව සිතුවිලිවල සහ මානව නිර්මාණවල ගැබ් වෙන්නේ ප්‍රබන්ධමය ගුණයක්. හැබැයි යථාර්ථය කියන්නෙ ප්‍රබන්ධ 'නොවෙන දේ' ය කියන සරල අර්ථ දැක්වීම අපි පිළිගන්නව නම්, ප්‍රබන්ධ කියන අදහස තියෙන තාක් කල් එහි ප්‍රතිපක්ෂය වෙන යථාර්ථය කියන අදහසත් පවතිනවා. යථාර්ථය හෙවත් ප්‍රබන්ධ නොවන දේ අපේ ප්‍රබන්ධවලට (සිතුවිලිවලට, පරිකල්පනයට, මනඃකල්පිතයට) අහුවෙනවද නැද්ද කියන එක විවිධ දාර්ශනික විවාදවලට (තවත් ප්‍රබන්ධවලට) හේතු වෙච්ච දෙයක්. අපේ ප්‍රබන්ධවලට කවදාවත් අහුනොවෙන, එක පියවරකින් අහු වෙනවා වගේ පේන කොට ම තව පියවරකින් ඈතට යන දෙයක් හැටියට යථාර්ථය අර්ථ දැක්වීම එක ප්‍රවේශයක්; යථාර්ථය කියන්නෙ අපේ ප්‍රබන්ධ ඇතුලෙන් ම හදා ගත්ත දෙයක් කියන්නෙ තව පුවේශයක් (හැබැයි මේක යථාර්ථය කියන්නෙ ප්‍රබන්ධය නොවන දේ කියන අර්ථ දැක්වීමට විරැද්ධයි); එහෙම නැත්නම් අපේ ප්‍රබන්ධත්, ප්‍රබන්ධවලට අහුවෙන සහ තවම අහුවෙලා නැති සියල්ල සමස්තයක් හැටියට යථාර්ථය හැටියට ගැනීම තවත් ප්‍රවේශයක්. ඒ කියන්නෙ අපි මොන විදිහට තේරැම් ගත්තත්, මේ තේරුම් ගැනීම්වලට පිටින් තියෙන දෙයක් හැටියටත්, එහෙම නැත්නම් අපේ තේරුම් ගැනීමේ හැටියට වෙනස්වෙන දෙයක් හැටියටත් කෙනෙකුට යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. සමහර දාර්ශනිකයො මේ විදිහට එක එක්කෙනා පැහැදිලි කරන යථාර්ථයේ විවිධ අර්ථ දැක්වීම්වලට වෙන වෙන ම න්‍යායික වචන හඳුන්වල දීල තියෙනවා (ලැකානියානු මනෝවිශ්ලේෂණය උදාහරණයක්). මෙතනින් කොයි ප්‍රබන්ධය වඩා ඇත්ත වගේ පේනවද කියන එක, එහෙම නැත්නම් යථාර්ථය ගැන අලුත් ප්‍රබන්ධ ගේන එක, එහෙම නැත්නම් මේ එක එක ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම දර්ශනවාදයේ එක විෂය පරාසයක්. හැබැයි අපි ජීවත්වෙන කාලෙත් එක්ක යථාර්ථය ගැන අපි හදාගන්න ප්‍රබන්ධවල පොදු ගුණ පරාසයක් තියෙනවා කියන එක නම් පැහැදිලිව පේන දෙයක්. මේ විදිහට ප්‍රබන්ධය සහ යථාර්ථය කියන්නෙ හැම තිස්සෙ ම එකිනෙකට බැඳුණු, හැබැයි ඒවා තේරුම් කරන කොට ම වෙන් වෙන සමස්තයක්.

එහෙනම් මොන පැත්තෙන් බැලුවත් යථාර්ථය ගැන ප්‍රබන්ධ විතරයි අපිට නිර්මාණය කරන්න පුළුවන්. අපි යථාර්ථය අපේ සිතෙන් බාහිරව පවතිනවා ය කිව්වත්, යතාර්ථය කියල දෙයක් නැහැ කිව්වත් ඒ සියල්ල අපේ හිතෙන් ගොඩනගන ප්‍රබන්ධ. හැබැයි යථාර්ථය කියන්නෙ නිකම් ම ප්‍රබන්ධයක් විතරයි කියල ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ. මුලින් ම යථාර්ථය කියන්නේ අර්ථ දැක්වීමෙන් ම ප්‍රබන්ධය නොවෙන දේ; යථාර්ථය පවතින්නෙ ම අපේ ප්‍රබන්ධවලින් එළියෙ කියල හිතුවොත් යථාර්ථයෙ පැවැත්ම අපේ ප්‍රබන්ධවලින් තීරණය වෙන්නෙ නැහැ; අනික් අතට යථාර්ථයේ 'පැවැත්ම' අපේ ප්‍රබන්ධවලින් එළියෙ තිබුණට, අපේ ප්‍රබන්ධවලින් සහ ප්‍රබන්ධවලින් උත්තේජනය වෙච්ච ක්‍රියාකාරකම්වලින් යථාර්ථයේ ස්වභාවය වෙනස් කරන්න බැහැ කියල ඒකෙන් අදහස් වෙන්නෙත් නැහැ. ඒ වගේ ම යථාර්ථය ගැන හදා ගන්න ප්‍රබන්ධ තමයි යථාර්ථය අපිට දැනෙන එක ම විදිහ. ඒ නිසා ම අපේ ප්‍රබන්ධ සමහරක් යථාර්ථය එක්ක ගැලපෙන්න පුළුවන් වගේ ම නොගැලපෙන්නත් පුළුවන්.

ඊලඟට කතා කරන්න වෙන බෙදීම තමයි අපේ 'සංවේදනාවලට දැනෙන යථාර්ථය' (empirical reality) සහ 'එහෙම නොදැනි පවතින්න පුළුවන් කියල අපි හිතන යථාර්ථය'. අපේ ප්‍රබන්ධ, සංවේදනා සහ තර්කණයට අහුවෙන යථාර්ථය එක්ක ගලප ගන්න උත්සාහ කරනව නම්, පර්යේෂණ කරනව නම්, ක්‍රමවේදය හදා ගන්නවා නම් ඒ ක්‍රමවේදය අපි හඳුන්වන්නේ විද්‍යාව කියලා; විද්‍යාඥයෝ හැම වෙහෙසක් ම ගන්නේ ඒ වෙනුවෙන්. නමුත් විද්‍යාව කියන්නෙත් සංවේදනාවලින් දැනෙන යථාර්ථය ගැන සංවිධානය කළ ප්‍රබන්ධයක් නිසා ඒක යථාර්ථය එක්ක දිගට ම ගලපල තියා ගන්න නම් අලුත් අත්දැකීම් එක්ක සැරෙන් සැරේ අලුත්වැඩියා කරන්න වෙනවා. යථාර්ථයෙන් එන අලුත් සංඥා එක්ක, අපේ සංවේදනා පුළුල් වීමත් එක්ක, සහ තර්කණය එක්ක, සමහරවිට අපි හරියි කියල හිතාගෙන හිටපු ප්‍රබන්ධ ගොන්නක් වීසි කරල දාලා, වඩා නිවැරදියි කියල හිතෙන අලුත් ප්‍රබන්ධ ගොඩ නගා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ලෝකය පැතලියි කියල සිතීම, ලෝකය වටේ හිරු සහ අනෙක් ග්‍රහයො කැරකෙවෙනවා කියල සිතීම අපි කාලයක් යථාර්ථය කියල නඩත්තු කළ ප්‍රබන්ධයක්. ඒ කාලේ අපේ සංවේදනාවල සහ තර්කනයේ සීමා එක්ක මේවා ඇත්ත වගේ පෙනුනා. මේ ගැන අපේ දැන් තියෙන පැහැදිලි කිරීම (ප්‍රබන්ධය) වෙන්නේ ලෝකය ගෝලාකාර බවත්, ලෝකය හිරු වටේ යන බවත්. ඒ පැහැදිලි කිරීම අපි පිළිගන්නේ අපේ දැන් තියෙන සංවේදනාවල (තාක්ෂණයේ උදව්වත් ඇතුළුව) සහ තර්කනයේ සීමා එක්ක. නමුත් මේ පැහැදිලි කිරීම් දෙක ම ඒ ඒ යුගයට අනුව අපි ගොඩනගපු ප්‍රබන්ධ. අපේ සංවේදනා, තාක්ෂණය, තර්කණය දියණු වීමත් එක්ක, මේවා ගැන තවත් මට්ටමක පැහැදිලි කිරීමක් අනාගතයේ දී එන්න පුළුවන්.

එහෙම බැලුවහම, කලාව කියන්නෙත් ප්‍රබන්ධ එක්ක වැඩ කරන තවත් වෙනස් ම ක්‍රමවේදයක්. අපේ සංවේදනාවලින් දැනෙන යථාර්ථය එක්ක සමාන්තරව යන්න, සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න, සීමාවලින් ගලවන්න, උඩු යටිකුරු කරන්න පුළුවන් ප්‍රබන්ධ හදන්න තියෙන සුවිශේෂී ක්‍රමවේදය තමයි කලාව. කලා නිර්මාණවලින් (ප්‍රබන්ධවලින්) කරන්නෙ අපේ හිත ගැනත්, හිතෙන් පිට දේවල් ගැනත්, හැම තැනම විසිරිලා තියෙන අසංවිධානාත්මක උත්තේජක, අපේ සංවේදනාවලට දැනෙන කාර්යක්ෂම ආකෘතියක් යටතට සංවිධානය කරන එක කියල කියන්න පුළුවන්.

දැන් ඉතින් එහෙනම් ඉතිහාසය කියන්නෙත් ප්‍රබන්ධයක් කියන එකේ කිසි ම වරදක් නැහැ. ඇත්තට ම සිද්දවුණු දේ කොහොම වුනත්, ඉතිහාසය කියන්නෙත් සමහර සිදුවීම් ඉතුරැ වෙලා, සමහර තොරතුරැ හැලිලා, අතින් හිස් තැන් පුරවලා හැදෙන ප්‍රබන්ධයක්. ප්‍රබන්ධ හදන කොට, ඇත්තටම සිද්ද වෙච්ච දේ වාර්තා කිරීමට වඩා, යම් කිසි මොහොතකට අදාල වෙන, අරමුණක් වෙනුවෙන් වැඩ කරන, මුල මැද අග තියෙන ආකෘතියක් සහිත, තේරැමක් ඇති කතාවක් ගොඩ නගන්නයි අපි උත්සාහ කරන්නෙ. ඕනැ නම් කලාවේ ක්‍රමවේදයෙන් ඉතිහාසය සංවේදනාවලට අහුවෙන යථාර්ථයෙන් ඈත් කරන්නත්, විද්‍යාවේ ක්‍රමවේදයෙන් සංවේදනාවලට අහුවෙන යථාර්ථයට ලං කරන්නත් පුළුවන්. ඉතිහාසයට අල්ල ගන්න දේ ගැනත්, ඉතිහාසය ප්‍රබන්ධකරන විදිහත්, ඒ ප්‍රබන්ධ මෙහෙයවන හේතු ගැනත් කතා කරන එක වැදගත් වෙන්නෙ ඒ නිසා. ඉතින් ඉතිහාසය ගැන අපේ ප්‍රබන්ධ නැවත නැවතත් ගවේශණය සහ නිරන්තරව අලුත්වැඩියා කිරීම මිසක් පරණ ප්‍රබන්ධ ජීවිතය පරදුවට තියල ආරක්ෂා කිරීම කිසි ම තේරැමක් නැති වැඩක්.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...