සමලිංගිකත්වය ජීව විද්‍යාත්මක ද සංස්කෘතික ද?




හැම තනි තනි ප්‍රශ්නයක් ම තව ප්‍රශ්න එක්ක එකට ගැට ගැහිල තියෙන නිසා සමහරවිට අපේ ප්‍රශ්න පැටළුනු නූල් බෝලයක් වගේ. හදිස්සියට එක පොටකින් අදින කොට අනිත් පැත්තෙන් තවත් තද වෙනවා. සමහරවිට හොඳම විදිහ හෙමින් හෙමින් ඇද ඇද, පැටළිලා තියෙන විදිහ ගැන විශ්ලේෂණය කරමින් නූල් බෝලෙ දිග ඇර ගන්න හදන එකයි. ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නෙත් ඒ වගේ එකක්.


ලිංගිකත්වය කියන්නේ භෞතික ශරීරය සමග මානසික සුසංවාදයෙන් ඇති වෙන සංකීර්ණ තෘප්තියක් හා බැඳුණු අනන්‍යතාවයක්. එය මූලිකව පැන නගින්න ඇත්තේ සත්ව අවශ්‍යතාවයක් වන ප්‍රජනන ක්‍රියාවලියත් එක්ක වුණාට ඒක භෞතික ලිංගිකත්වය, ස්ත්‍රී, පුරුෂ භාවය (Gender) හෝ ලිංගික අවයව එක්ක අත්‍යවශ්‍යයෙන් ම බැඳිලා නැහැ. පරිණාමයත් එක්ක ලිංගික ප්‍රජනනයට අවශ්‍ය භෞතික අවශ්‍යතා සංස්කෘතිකව හඳුනා ගත්තට පස්සෙ, ප්‍රජනන ක්‍රියාවලියෙන් −එහි භෞතිකත්වයෙන්− ලිංගිකත්වය නිදහස් වෙනවා; ලිංගික තෘප්තිය පදනම් වෙන සාධක සංස්කෘතික සහ සමාජීය බලපෑම් මත පරිණාමය වෙනවා. මානව ප්‍රජනනයට අදාළව අද ලිංගික තෘප්තිය අත්‍යවශ්‍ය සාධකයවත්, එය මෙහෙයවන ප්‍රධාන බලවේගවත් නෙමෙයි. අද විරුද්ධ ලිංගිකයන් අතර ප්‍රයෝගික සංවාසයත් දරුවෙක් පිළිසිඳ ගත හැකි ප්‍රධාන හෝ අහම්බ හෝ සම්ප්‍රදායික හෝ ක්‍රමයක් විතරයි. (මේ පිළිබඳ තව දුරටත් අදහස් මේ ලිපියේ මුල් පළ කිරීම එක්ක එන සංවාදයේ එනවා.) ඒ වගේ ම පුද්ගල ලිංගිකත්වයෙන් වියුක්ත වූ සයිබර්ලිංගිකත්වය (අන්තර්ජාලය මත පදනම් වෙන මනෝ-ශාරීරික තෘප්තිය), සිනෙලිංගිකත්වය (සිනමාව සමග බැඳුණු මනෝ-ශාරීරික තෘප්තිය) ආදී ලිංගිකත්වය හා බැඳුණු සංකීර්ණ ප්‍රභේද පිළිබඳ සංවාදත් මේ වන විට කෙරී ගෙන යනවා.



ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීමට අනුව නම් සමලිංගිකත්වය, ද්වි-ලිංගිකත්වය සහ සංක්‍රාන්ති-ලිංගිකත්වය ස්වභාවික දෙයක්; එය සාධක රාශියක අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක්. බොහෝ වෙලාවට ඒක කෙනෙකුගේ සවිඥානික තෝරා ගැනීමක් නෙමෙයි. යම් යම් අවස්ථාවලදි ඒක ජානමය හෝ සංස්කෘතිකමය පෙළඹවීමක් වගේ ම, සමහර අවස්ථාවලදි සත්ව විශේෂවල පැවැත්ම තහවුරු කිරීම සඳහා පාරිසරික තත්ව මත වෙන ආරක්ෂක ක්‍රියා මාර්ගයක් හැටියටත් දකින්න පුළුවන්. මේ වෙනකොට විද්‍යාඥයින් සහ සත්ව-සමාජ හැසිරීම් නිරීක්ෂකයින් සත්ව විශේෂ දාහකට වැඩි ප්‍රමාණයක සමලිංගිකත්වය, ද්වි ලිංගිකත්වය, ස්වයං-ලිංගිකත්වය සහ සංක්‍රාන්ති-ලිංගිකත්වය නිරීක්ෂණය කරලත් තියෙනවා; සත්ව විශේෂයේ සමූහ ක්‍රියාකාරීත්වය සහ මානසික සෞඛ්‍යය ඉහළ දැමීම, සමාන ලිංගික සත්තු අතර තරගකාරීත්වය සහ මරණීය සටන් අඩු කිරීම වගේ පරිණාමීය ප්‍රයෝජන වාර්තා කරලාත් තියෙනවා.

ඒ වගේ ම විරුද්ධ ලිංගිකත්වය කියන්නේ වර්ගයා බෝ කිරීමේ එකම මග කියන අදහසත් දැන් ජීව විද්‍යාත්මකව පරණයි. ගර්භාෂයෙන් පිට සිදුකරන පිළිසිඳ ගැනීම් හෙවත් නළ දරු උපත් දැන් සුලබ යි. පිරිමි පිළිසිඳගැනීම් සත්ව ලෝකයේ කොතෙකුත් පවතින අතර ම, සංක්‍රාන්තිලිංගික මානව පිරිමි දැන් දරැවන් බිහි කරනවා. ගර්භාෂ නැති උපතින් පිරිමි වූ අයට දරුවන් පිළිසිඳගැනීම් සහ ගර්භණීභාවය ගැන පර්යේෂණ දැන් බොහෝ දියුණුවට පත් වෙලා තියෙනවා. විරුද්ධලිංගිකත්ව අනුපාතය බිඳ වැටුනු සත්ව වර්ග සමලිංගික, සංක්‍රාන්ති-ලිංගික, ස්වයං-ලිංගික හෝ ඉතාම දුර්ලභව අලිංගික උත්තේජනය මගින් තම වර්ගයා බෝ කර ගත හැකි වගේ ම, පාලනය කර ගත හැකි සත්වයන් බවට පරිණාමය වෙච්ච අවස්ථා ගොඩක් මේ වෙනකොට අධ්‍යනය කරලා තියෙනවා. මේ විකල්ප ලිංගික හැකියාවන් නොනැසී පවත්වා ගැනීමට හැම සත්ව විශේෂයක ම ජානවල විරුද්ධ ලිංගික නොවන පෙළඹවීම් සමහරවිට තියෙන්න පුළුවන්. සමහර අයගේ මේ ජාන, ජීව විද්‍යාත්මකව අනිත් අයට වඩා ප්‍රබලවෙන්න පුළුවන් වගේ ම, බාහිර, පාරිසරික සහ සංස්කෘතික හේතු මත මේ පෙළඹවීම් යට යන්නත්, මතු වෙන්නත් පුළුවන්. කෙනෙකුගේ ජීව විද්‍යාත්මක හෝ සංස්කෘතිකමය පදනම තමාට හසුරුවා ගත නොහැකි වීමත්, එහෙම ‘හසුරුවා’ ගැනීම් අහිතකර සහ අනවශ්‍ය දෙයක් කියන ‘දියුණු’ සංස්කෘතික මතය මතත් තමයි අපි සෑම ආකාරයක ම මානුෂික සම්බන්ධතාවලට ඉඩ අරින්න ඕනැ. පුළුල් අරුතකින් බැලුවහම සමලිංගිකත්වය, ද්වි-ලිංගිකත්වය හෝ සංක්‍රාන්ති ලිංගිකත්වය කියන්නේ (ඒ අයට තියෙන සමාජ පීඩනයත් එක්කත් ගත්තහම) ගරු කළ යුතු, රැක ගත යුතු තත්වයක් විදිහට දකින්නත් පුළුවන්. ඒ නිසා සමලිංගිකත්වය, සංක්‍රාන්ති ලිංගිකත්වය වගේ ම විෂමලිංගිකත්වය ආදී ලිංගිකත්වය ගැන පසුගාමී සමාජවලින් එන සෑම තහංචියක්ම ඉවත් කිරීම වෙනුවෙන් පෙනී සිටීම අද අනිවාර්ය අවශ්‍යතාවයක්.



නමුත් ලිංගිකත්වයේ මේ විවිධ ධාරා සාමාජික සහ දේශපාලනික වශයෙන් හැසිරෙන විදිහ වෙන ම විෂය පරාසයක්. විද්‍යාත්මක අර්ථයෙන් සහ සංස්කෘතික නිදහස පැත්තෙන් ප්‍රගතිශීලී මේ බලවේග, හැම තිස්සෙම එහෙමයි ද කියන එක හොඳට අවධානයෙන් බලන් ඉන්න ඕනැ දෙයක්. විකල්ප සහ පීඩිත තත්වයෙන් මිදිල, ප්‍රධාන ධාරාව වෙන ඕනෑම බලවේගයක් ආපහු පීඩකයාගේ චරිතෙට අවතීර්ණ වෙනවා. උදාහරණයක් වශයෙන්, සමහර බටහිර රටවල විශ්ව විද්‍යාලවල ස්ත්‍රීවාදීන්, විකල්ප ලිංගික (queer) න්‍යායාචාරීන් සහ වෙනත් එවැනි බලවත් ගුරුකුල වෙනත් අධ්‍යයන කවයන් සහ ධාරාවලට එල්ල කරන හිංසා, මතවාදී තර්ජන සහ සම්පත් කොල්ල කෑම් පෙන්නන්න පුළුවන්. ඒ වගේ ම ධනවාදී බලවේග යම් යම් රටවල සංස්කෘතික බාධක ඉවත් කරන්න, නිදහස් ලිංගික අරගලවලට වගේ ම, සංස්කෘතික විරෝධතා කියන දෙකට ම සම්පත් සපයනවා දකින්න පුළුවන්. හැත්තෑවෙ දශකයේ දි සාපේක්ෂ සංස්කෘතික නිදහසක් පැවතුනු සහ වේගයෙන් බටහිරකරණය වෙමින් ආ මැද පෙරදිග, ආගමික අන්තවාදයක් පැත්තට තල්ලු කිරීම සහ ඒ මගින් මැද පෙරදිග අස්ථාවර යැපුම් රාජ්‍ය පද්ධතියක් බවට පත් කිරීම එක්තරා උදාහරණයක්.


පන්ති අරගලය වගේ පොදු, ප්‍රමුඛ සහ වඩා වැදගත් අරගල, වෙන් වෙච්ච ශාඛාවලට දිය කර හරින්න ස්ත්‍රීවාදී අරගලය, සමරිසි අරගලය, විකල්ප ලිංගික අරගලය වගේ ක්ෂුද්‍ර අරගල පාවිච්චි වෙන බව තවත් අදහසක්. සමලිංගික සම්බන්ධතා ඇතුළේ (විශේෂයෙන් ඒ සම්බන්ධතා නීත්‍යානුකූල කළ රටවල) නැවතත් ලිංගික සූරා කෑම, ගෘහස්ත හිංසනය, දේපළ ගැටළු ආදිය පැන නැගීම මේ අදහස ශක්තිමත් කරනවා. ඒ වගේ ම සංස්කෘතිකමය හෝ සදාචාරමය වශයෙන් නොපිළිගත් සම්බන්ධතා පිළිගැනීමෙන් හා සාමාන්‍යකරණයට ලක් කිරීමෙන් ඒ සම්බන්ධතාවල ගැබ් වුණු විකල්පය නියෝජනය කිරීමේ සංකේතීය ශක්‍යතාව ගිලිහී යන එක විකල්ප ලිංගික ප්‍රජාව මුහුණ දෙන තවත් ගැටළුවක්. ඒ සම්බන්ධතාවල මානසික ආස්වාදය, නැවුම් බව, සංකේතීය විරෝධාකල්පික සහ වික්‍රමාන්විත බව තහංචි ඉවත්වීමෙන් අතුරුදහන් වෙන බව බටහිර රටවල සමහර සමලිංගිකයන් සහ ද්වි-ලිංගිකයින් කියනවා. සමරිසි දික්කසාද අනුපාතයත් දැන් සීග්‍රයෙන් ඉහළ යනවා. විකල්ප ලිංගිකයන්ගේත් පවුල් ජීවිත, ළමයින් ඇතිදැඩි කිරීම ආදී සාමාජික ක්‍රියාකාරකම්වලදී සාම්ප්‍රදායික ලිංගික ප්‍රජාව මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම ඒ විදිහෙන් ම හෝ සමහරවිට ඊටත් වඩා දරුණු මුහුණුවරකින් මේ අයටත් එන එක ස්වභාවයක්. විකල්ප ලිංගිකත්වය පිළිබඳ ජීව විද්‍යාත්මක සාධකය ඊට වඩා ප්‍රමුඛ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික ස්වභාවය වැනි සාධක මගින් ඉක්මවා යන බව මේ නිසා පිළිගන්න වෙනවා. නමුත් මේ කිසිම දැක්මක් ලිංගික නිදහස පටු සීමා කීරීම්වලට හිර කරන්න සාධාරණ හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිදහස් කිරීම් එක්ක එන ප්‍රශ්න, අලුත් තත්ව යටතේ අලුත් විසඳුම් හොයා ගන්නවා.


මේ හැම පැත්තක් ම සලකල බැලුවහම ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නයත්, ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික දෙමුහුමක් විදිහට ගැනීම සාධාරණ යි. අනිත් ඉතාම වැදගත් දේ සමරිසි වීම කොහෙත් ම ලිංගික සම්බන්ධතාවලට පමණක් සුලු කොට තැකීමට බැරි වීම යි. ලිංගිකත්වය නොතකා ඕනෑම කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්න, එකට ජීවත් වෙන්න අවශ්‍ය නම්, ඒක මූලික අයිතියක්. ඒ සංස්කෘතිය සහ හැඟීම් ජීව විද්‍යාවේ සීමාවලට අභියෝග කරන වැදගත් තැනක්. ඒක ජීව විද්‍යාත්මකව වුණත්, පරිණාමීය මොහොතක්. සංස්කෘතියට ජීවයේ ස්වභාවයත්, ජීවයේ ස්වභාවයට සංස්කෘතියත් වෙනස් කරන්න පුළුවන්; අවසාන වශයෙන් සමාජ පරිසරය සහ ජීව විද්‍යාව අතර සම්බන්ධයත් අවියෝජනීය යි. මානව ප්‍රජනන ක්‍රියාවලිය තවමත් භෞතික විරුද්ධ ලිංගික ආකෘතිය (පිළිසිඳ ගැනීම) මත යැපුණත්, ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික දෙමුහුමක් වෙන ලිංගිකත්වය (හෙවත් තෘප්තිය ඇති කරන ආකර්ෂණය) විරුද්ධ ලිංගික ආකෘතිය මත ම රැඳෙන්නේ නැහැ. ඒ වගේ ම ලිංගිකත්වය, ආදරය විවිධ අවශ්‍යතා සහ තත්ව යටතේ නිදහස සොයා ගෙන යන ගමනේදී එය සංස්කෘතික අරගලයක් හැටියට ඉස්මතු වීමත් අනිවාර්ය යි. නමුත් සංස්කෘතික නිදහස වෙනුවෙන් අපි කරන අරගල ඕනැම මොහොතක ගසා කන්න තියෙන ඉඩ ගැන දැණුවත් වීමත් අනිවාර්ය අවශ්‍යතාවයක්. ඒ නිසා ඕනෑම පීඩනයකට විරුද්ධව කොන්දේසි විරහිතව, ඇස් වසාගෙන දිගට ම සටන් කළ යුතුයි කියන මතය, සෑම අරගලයක් ම පීඩනයක ප්‍රතිපලයක් කියන එක වගේ දෘශ්‍යමානයේ විප්ලවවාදී මත වගේ ම, ප්‍රගතිශීලී ප්‍රතිගාමී ප්‍රතිවිරෝධය දිය කර දැමීම වගේ ප්‍රතිවිප්ලවවාදී මත ගැනත් කල්පනාවෙන් ඉන්න එක වැදගත්. එහෙම නැතුව, එක පොටකින් විතරක් ඇද්දොත්, නූල් බෝලෙ සදහට ම පැටලෙන්න පුළුවන්.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...