කිකිළිද බිත්තරේද? අදාළ ද නැද්ද?


මේ දවස්වල, කිකිළිද බිත්තරේද ඉස්සෙල්ල ආවෙ කියන උභතෝකෝටිකයත්, ඒකට ලංකාවේ දාර්ශනික මල්ලි කෙනෙක් දීපු 'අදාළ නෑනේ' කියන උත්තරෙත් හැම තැන ම ප්‍රසිද්ධයි. ඒකෙ වටිනාකම කොච්චර ද කියල සරලව කිව්වොත්, මේ වීඩියෝව සමස්තයක් හැටියට ඒ ගැටළුවට විසි එක්වන සියවසේ දී විතරක් අපිට දෙන්න පුළුවන් ඉතා ම දාර්ශනික උත්තරයක් කියල කියන්න පුළුවන්. ග්‍රීක යුගයේ ඉඳන් දාර්ශනිකයෝ මේ ප්‍රශ්නෙට දෙන්න හදපු එක එක විදිහෙ උත්තර ලයිස්තුවක් අපිට හොයා ගන්න පුළුවන් වුනත්, ඒ හැම උත්තරයක් ම කපාගෙන ආපු 'අදාළ නෑනේ' කියන උත්තරේ සහ ඒකට දීපු හැඩය, එක එක්කෙනා දෙයක් දකින, කියන විදිහ ගැන හිතන්න හොඳ තැනක්.


මේක එක එක්කෙනාට පේන්නේ එක එක මට්ට්මට: බොරු පණ්ඩිත සංවාදයක්; බීල මත් වුණ ලාබාල කොල්ලො ටිකක්; අශ්වාදයේ උපරිම මොහොතක්; සුපිරි ම ආතල් එකක්. මුලින් ම පණ්ඩිත කතාවක් පටන් අරන්, ඒකෙ පොටවල් මාරු වුනහම, අමුතු ම විදිහකට ගොඩ දා ගන්නවා. ඊලඟට කුකුළයි, කිකිළියි අතර සම්ප්‍රදායික ලිංගික සම්බන්ධය ප්‍රශ්න කිරීම. ඊලඟට මේ වසසෙ කොල්ලො, මත් පැන් බොන බව, කුණුහරැප කියන බව මේ වෙනකම් දැන ගෙන ඉඳල නැති, මේ වීඩියෝවෙන් ඒක දැකල කම්පනයට පත් වෙච්ච සදාචාරවාදීන්. එහෙම නැත්නම් මේකෙ තියෙන විශේෂත්වය තේරුම් ගන්න බැරැව‍ හැමෝම මේක බලන්නේ ඇයි කියල තමන්ගෙන් ම ප්‍රශ්න කරන අය. ඒ වගේ හුඟක් අයට මේක එතනින් ඉවරයි. හැබැයි ඕනැ නම් මේකෙ තව දුර යන්න පුළුවන්.

මේ වීඩියෝ එක ආසාවෙන් විඳින අයට ඊලඟට මේකේ දැනෙන්නේ, බරපතල න්‍යායික ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ නැතුව ප්‍රායෝගිකව සතුට හොයා ගන්නේ කොහොමද කියන පණිවිඩය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අද කාලේ 'කිසිම දෙයක් - කිසිම දේකට සම්බන්ධයක් නැහැ' වගේ පේන එක, ඉතා ම සරලව වචනෙට සහ රූපෙට නගපු අවස්ථාවක් හැටියට, සැනසිලිදායක එළිදරව්වක් හැටියට වෙන්න පුළුවන්. අපි ලෝකේ තියෙන හැම දේ ම එකකට එකක් සම්බන්ධයි කියල හිතුවට, අද ඒ සම්බන්ධතා ලේසියෙන් හොයා ගන්න බැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ, ආගම ඇතුළෙ ඉස්මතු කරන හේතු ඵල සම්බන්ධතාව, අපිට අත්දකින්න වෙලා තියෙන යථාර්ථය ඇතුළෙ නැහැ. හොඳ කරන අයට හොඳත්, නරක කරන අයට නරකත් ලැබෙනව කිව්වට, ඒක කොහෙවත් පේන්න නැහැ. ඉගෙන ගත්තහම හොඳ රස්සාවක් හම්බ වෙනව කිව්වට, එක්කො ඒක එහෙම නෑ; එහෙම නැත්නම් රස්සාවක් ගන්න ඕනැ කරන දේවල් උගන්නන්නෙ නෑ; එහෙම නැත්නම් ඒක උගන්නන්න බැහැ. හැමෝට ම සමාන අවස්ථා තියෙනවා කිව්වට කවදාවත් ඇත්තට ම එහෙම වෙන්නෙ නෑ. මේ විදිහට බැලුවහම අපේ කිසිම ක්‍රියාවක් තවත් ක්‍රියාවකට, දෙයක් තව දේකට, හේතුවක්, සම්බන්ධයක් හැටියට දකින එක මෝඩ කමක් හැටියටයි පේන්නෙ. මේ නිසා තමයි සරලව 'අදාළ නෑ' කියන්නේ. "කුකුළ ද, බිත්තරේද, කිකිළි ද?" කියන එකට "ආදාළ නෑනේ!" කියල ඇදල කිව්වහම අපේ හිතේ හැංගිල තියෙන මේ අසම්බන්ධය ගැන අවබෝධය, මෝදු වේගෙන එන අවිශ්වාසය ආස්වාදනීය විදිහට එළියට ගේනව; ඒ විතරක් නෙමෙයි, මේක දෙපාරක් ම කියල වටේ ඉන්න අයගෙ සහයෝගෙත් අරන්, ඒකට තියෙන පොදු ප්‍රතිචාරය හොඳට ම තහවුරැ කරල දෙනවා; අපිවත් ඒකට එකතු කර ගන්නවා. දේවල් අතර සම්බන්ධතා, විසඳන්න බැරි බරපතල ප්‍රශ්න වගේ ආපහු ගේන්න හදන අයවත් විනාශ කරල දානවා. මේක සරල දෙයක් වගේ පෙනුනත් ලොකු සැනසිල්ලක්; නිදහස් කිරීමක්. 

ඊලඟට එන සංකීර්ණ තැන එන්නේ දාර්ශනික ප්‍රශ්නෙත් එක්ක. ගොඩක් අය හිතන්නේ කිකිළි යි, බිත්තරෙයි ගැන දාර්ශනික ප්‍රශ්නෙ තාම විසඳල නැති, කවදාවත් ම විසඳෙන්නෙත් නැති එකක් හැටියට. ඇත්තට ම බැලුවොත්, මේ වගේ ගොඩක් ප්‍රශ්නවලට විද්‍යාත්මකව හරි දාර්ශනිකව හරි මානව වර්ගයා හැටියට උත්තර දීල ගොඩක් කල් උනාට, අපේ තියෙන තනි තනි දාර්ශනික විතැන් වීම් එක්ක අපිට ඒක තේරෙන්නේ නැති කමක් තියෙන්නෙ. ඒ වගේ ම සමහර දාර්ශනික ප්‍රශ්නවලට අපි වර්ගයක් හැටියට උත්තර හොයා ගත්තට, එක එක්කෙනා වෙන වෙනමත් මේ උත්තර හොයා ගැනීමේ ගමන මුල ඉඳන් යන්න කැමති යි. ඒකෙ කිසිම වරදක් නෑ විතරක් නෙමෙයි ඒක තමයි සමහර විට හොඳ ම විදිහ. හැබැයි මේ ගමනෙදි ගැටළු සහගත තැනක් ආපුහම, නොදන්න තැනක් ආපුහම, මහන්සි වෙලා විසඳනවට වැඩිය උත්තරේ දන්න විදිහට ඉන්නයි ගොඩක් අය කැමති. එහෙම නැත්නම් උත්තරේ දන්නෙ වෙන කෙනෙක්; හැබැයි එයා උත්තරේ දන්න බව එයාටත් වඩා අපි දන්නවා. ඒ විදිහට මාක්ස්ටත් වඩා මාක්ස්වාදය දන්න අයයි, බුදු හාමුදුරැවන්ටත් වඩා බුදු හාමුදුරුවො ඇත්තට ම කිව්වෙ මොකද්ද කියලයි දන්න අය ඕනැ තරං ඉන්නවා. 

සරල ව කිව්වොත් ඇයි අපි කිකිළියි බිත්තරෙයි අතරෙ ප්‍රශ්නය උභතෝකෝටිකයක් හැටියට සැලකුවට, අම්මයි, ළමයයි අතර ප්‍රශ්නෙ උභතෝකෝටිකයක් කියල හිතන්නෙ නැත්තෙ? අම්ම ද ඉස්සෙල්ල ආවෙ, ළමය ද? ළමයි තමයි පස්සෙ අම්මල වෙන්නෙ. ඔන්න එතනදි නම් ඉස්සෙල්ල ආවෙ කව්ද කියන එක, එක එක්කෙනාට අදාලව වෙනස් වෙනවා. නිලක්ෂිගෙ අම්ම සුනීතා. සුනීතාගේ අම්මා ගුණවතී. ගුණවතීගේ අම්මා ඉසබෙලා ආදී වශයෙන්. නිලක්ෂිද ඉස්සෙල්ල ආවෙ එහෙම නැත්නම් සුනීතා ද කියල කවුරුත් දන්නවා. එතනින් එහාට උත්තරේ පරිණාමවාදයේ තියෙනවා; හෝමෝ සේපියන්ස්, හෝමෝ නියන්ඩතාල්ස්, ඊලඟට මේක ක්ෂීරපායි සත්තුන්ගෙන්, මාළුන්ගෙන්, ඒක-සෛලක සත්තුන්ගෙන් ගිහින් සත්තු නොවෙන, පණ නැති දේවල් වලින් ඉවර වෙනවා. හැබැයි කිකිළිගෙ ප්‍රශ්නෙ දි, බිත්තරේ කියන්නේ කුකුළ් පැටියගේ මූලික අවධිය කියල අපිට හිතෙන්නේ නෑ. මිනිස්සුන්ගේ මූලික වර්ධන අවධිය ගර්භාෂයේ ගෙවුනට, කිකිළි, බිත්තරේ හැටියට එළියට දාන්නේ පැටියෙක් කියන එකත්, කිකිළි, කිකිළි හැටියට හැම දාල ඉඳල නෑ කියන එකත් අපිට ටිකක් තේරුම් ගන්න අමාරැයි. හැබැයි කිකිළි කෙළින් ම පැටියෙක් ප්‍රසූත කරොත්, ඉස්සෙල්ල ආවෙ කවුද කියන ප්‍රශ්නෙ සමහරවිට කවුරුත් අහන එකක් නෑ; එහෙම නැත්නම්, එතකොට මේ ප්‍රශ්නෙ "අදාළ නෑ". 

මේ විදිහට අපේ දැක්මෙ තියෙන අඩු පාඩු එක්ක තමයි අපි මේ වගේ හුඟක් දාර්ශනික ප්‍රශ්න හදා ගන්නේ. කිකිළිව වෙනමයි, බිත්තරේ වෙනමයි ගත්තහම, ඊලඟට ඒවා හැම දාම ඒ වගේ ම එක විදිහට තිබුණයි කියල හිතේ මවා ගත්තහම, ලස්සන දාර්ශනික ප්‍රශ්නයක් හැදෙනවා. හිත වෙනමයි කය වෙනමයි ගත්තහ ම ඉස්සෙල්ල පටන් ගත්තෙ මොකද්ද කියල දාර්ශනිකව හොයන්න වෙනවා. ඒ ප්‍රශ්න ආපහු ආපහු පෙරළ පෙරළ බලන එක, දන්නේ නෑ වගේ ඉන්න එක පුදුම ආස්වාදයක්. හැබැයි ඒ දාර්ශනික ප්‍රශ්නවලට දාර්ශනිකව විතරක් කවදාවත් උත්තර හොයන්න බැහැ. දර්ශනය අත ඇරල වෙනත් විද්‍යාවකට හරි, සූක්ෂම අධ්‍යයන ක්ෂේත්‍රයකට හරි ගිය හැටියේ කාලාන්තරයක් තිස්සෙ හොයපු උත්තර එක පාරට ම අහු වෙනවා. හැබැයි එක පැත්තකින් ඒක අපේ විනෝදය (ලැකානියානු මනෝවිශ්ලේෂණාත්මක අර්ථයෙන් නොවේ!) වගේ ම දර්ශනවාදී ආස්වාදයත් විනාශ කරල දානවා. ඒ කියන්නේ විද්‍යාව, හැමදාම දර්ශනවාදය ඛාදනය කර ගෙන ඉස්සරහට යන බවයි පේන්නෙ. ඒකෙන් බේරෙන්න නම් දර්ශනවාදය විද්‍යාවට ඉස්සර වෙලා දුවන්න ඕනෑ. නමුත් අද දර්ශනවාදය හදන්නේ විද්‍යාව දැක්කෙ නෑ වගේ පැත්තකින් යන්න. ලෝකය ඇති තරම් අර්ථ දක්වල ඉවරයි, දැන් ඉතින් ඒක වෙනස් කරන්න විතරයි තියෙන්නේ කියල මාක්ස් කියන අතරෙ, විද්‍යාව එක්ක තරග කරන්න බැරැව දර්ශනවාදය මිය ගිහින් කියල ස්ටෙපන් හෝකිංග්ස් කියනවා. හැමදාම හෝද හෝද මඩේ දාන "කිකිළි ද, බිත්තරේ ද?" කියන ප්‍රශ්නෙට "අදාළ නෑනේ!!" කියල ලංකාවේ දාර්ශනිකයා කියන්නෙත් මේකම යි.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...