ඇත්තට ම ඔබට දේශපාලනික මතයක් තියෙනවද?


රජය සහ පෞද්ගලික අංශය රටේ අධ්‍යාපනය, කලාව වගේ දේවල්වල වගකීම ගත යුත්තේ කෙසේ ද කියන එක මේ දවස්වල කැපී පෙනෙන සංවාදයක්. මේ සංවාදයෙදි එකිනෙකාගේ දැක්ම තීරණය කරන්නේ විවිධ දේශපාලනික සහ ආර්ථික විශ්වාස. ඒවා අපි එදිනෙදා සමාජයේ හැසිරෙන හැටි රහසිගතව තීරණය කළාට, බොහෝ වෙලාවට අපේ ඇත්ත දේශපාලන හෝ ආර්ථික මතය මොකද්ද කියල අපිවත් හරියට ම දන්නෙ නෑ. ආර්ථික දේශපාලන න්‍යාය සහ ඒවට අදාළ සංකීර්ණ පැහැදිලි කිරීම් බොහෝ අයගෙ ඔළුවට උඩින් පියාඹලා යනවා. මේ ඒ ගැන හැකි තරම් සරල කරපු නැත්නම් සාමාන්‍යකරණය කරපු අදහසක්. එහෙම සරල කිරීමකින් සූක්ෂමතා ගොඩක් මග ඇරෙන නමුත්, ඒ සූක්ෂමතා ගැන දැන ගන්න නම් මේ වගේ සරල කිරීමකින් ම පටන් ගන්න වෙනවා.

අපේ විවිධ මතවාද විවිධ කාණ්ඩවලට සාමාන්‍යයෙන් වෙන් කෙරුණත් බොහෝ දෙනා තුළ ඒවා ඇත්තෙන් ම පවතින්නේ යම් යම් ප්‍රමාණවලින් සමන්විත මිශ්‍රණ හැටියට. ස්වතන්ත්‍රවාදය (liberalism), සර්වාධිකාරිවාදය (totalitarianism) නැත්නම් ඒකාධිපතිවාදය (authoritarianism), වාමාංශික දේශපාලනය සහ දක්ෂිණාංශික දේශපාලනය ආදිය අපේ මේ මත වෙන් කරල තියෙන මායිම්. මේවා වෙන් කරන සංකීර්ණ අර්ථ දැක්වීම් ඕනැ තරම් තිබුණත්, සමාජයක සම්පත් බෙදී යා යුත්තේ කොහොමද කියන එක  මෙතනදි මූලික තීරණාත්මක සාධකයක්. 

සමාජවාදය පසුබිම් කර ගන්න වාමාංශික දේශපාලනය සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ සමාජයක පුරවැසියන් අතර සම්පත් හැකි තරම් සමානව බෙදී යා යුතු බව යි; වාසිදායක තත්වවල සිටින අය සහ අවාසිදායක තත්වවල සිටින අය අතර සම්පත් අසමතුලිතතාව සමතුලිත කිරීම සඳහා දැණුවත් පෙළඹවීමක් හෝ මැදිහත්වීමක් කළ යුතු බවයි; මේක කැමැත්තෙන් කරන්න කවුරුත් ඉදිරිපත් නොවෙන නිසා යම් කිසි බලඅධිකාරියක් ඒ සඳහා ඉදිරිපත් විය යුතු බවයි. මෙවැනි ක්‍රමයක් ගොඩනැගිය යුත්තේ කොහොමද, පාලනය කර ගෙන යන්නේ කොහොමද කියන එක ගැන  විවිධ වාමාශික පාර්ශවවල අදහස් විවිධ යි.

මෙතනදි සමාජවාදී මතය සහ මාක්ස්වාදීන් හෝ කොමියුනිස්ට්වාදීන් අතර දේශපාලන අරමුණුවල න්‍යයාත්මක පරතරය සටහන් කර ගැනීමත් ඉතාම වැදගත්. සමාජවාදීන් සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ වාමාංශික දැක්මට අනුව සහනාධාර මත පදනම් වෙන, ඉතා අවම පුද්ගලික අංශයක් සහිත ශක්තිමත් රජයකින් දිගට ම පාලනය වෙන ක්‍රමයක්. කොමියුනිස්ට්වාදීන් යෝජනා කරන්නේ කම්කරැ විප්ලවයකින් පසු දැනට පවතින ධනවාදී ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි වෙන තුරැ පමණක් කම්කරැ පන්තිය මගින් ගෙන යන අඥාදායක පාලනයක්; ධනවාදය පූර්ණ වශයෙන් අහෝසි වීමෙන් පසුව එළඹෙන ඉහළ කොමියුනිස්ට් තත්වය යටතේ දේපළ අයිතිය පොදු වෙන අතර රාජ්‍යය සහ අඥාදායකත්වය සම්පූර්ණයෙන් ම අහෝසි වී යා යුතු බවයි ඔවුන් ඉදිරිපත් කරන තර්කය; මාක්ස්වාදීන්ට අනුව ධනවාදී සමාජයක හැදෙන ඕනෑ ම රජයක් එහි සමාජවාදී හෝ ස්වතන්ත්‍රවාදී මුහුණුවර නො තකා ප්‍රාග්ධනය හිමි පන්තියේ අවශ්‍යතා සඳහා පමණක් පෙනී සිටින ආයතනයක්. සම්භාව්‍ය මාක්ස්වාදීන්ට අනුව මේ ක්‍රමය පෙරළා දැමිය හැක්කේ කම්කරැ පන්තිය මගින් සංවිධානය කරන විප්ලවයකින් පමණයි. 

දක්ෂිණාංශිකයෝ පිළිගන්නේ පුරවැසියන් අතර අසමතුලිත සම්පත් බෙදීම නොවැළැක්විය හැකි දෙයක් හෝ වැළැක්විය යුතු නැති දෙයක් හැටියට. ඒ කියන්නේ සාධාරණ සමාජයක් ක්‍රියාත්මක විය යුත්තේත් ඩාවින්ගේ 'ශක්තිවන්තයාගේ පැවැත්ම' කියන න්‍යාය අනුව බවයි; සමාජය පුද්ගලයින් වශයෙන් සහ සමූහ වශයෙන් තරගයට මුහුණ දීමෙන් ජීවිත පැවැත්ම තහවුරැ කර ගත යුතු බවයි. දැනට වාසිදායක තත්වවල සිටින අය සහ අවාසිදායක තත්වවල සිටින අය අතර ඉතිහාසය මේ තරගයේ ම ප්‍රතිපලයක් බවයි.

ඊලඟට මේ හැම පැත්තෙන් ම ගෙන එන තර්ක සහ විචාර සලකා බැලීම වැදගත්. වාමාංශිකයෝ කියන්නේ සාධාරණ සමාජයක සැබෑ දක්ෂයින් ඉස්මතු කර ගැනීමට නම් උරුමයෙන් අවාසිදායක තත්වවල සිටින අයගේ ජීවන තත්වය උසස් කළ යුතු බවයි; ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පොදු පහසුකම්වලට දෙන සහන සහ නියාමනය මගින් අවාසිදායක තත්වවල සිටින අයට සමාජ ප්‍රතිපදානයක් කිරීමටත්, සාධාරණ ජීවිතයකටත් අවස්ථාවක් ලැබෙනවා; ඔවුන්ට අනුව වාමාංශික  අරගලය යනු අවාසිදායක තත්වවල සිටින අයගේ පැවැත්ම පිළිබඳ අරගලයේ ම කොටසක්; සත්ව ලෝකයෙන් වෙන්වීමෙන් පසුව එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම සහ සමූහයක් අතර බෙදා හදා ගැනීම මිහිමත මානව පැවැත්ම සහ ශිෂ්ටාචාරය ශක්තිමත් වීමට හේතුව යි.

දක්ෂිණාංශිකයෝ කියන්නේ සහනාධාර වැනි සම්පත් කෘතිමව සමතුලනය කරන ක්‍රම, ඇත්තට ම සමාජය ඉදිරියට මෙහෙයවන, වැඩ කරන පිරිසට කරන අසාධාරණයක් බව යි; අවාසිදායක තත්වවල සිටින අයට දෙන සහන නිසා ඒ අය වැඩ නොකර හුදෙක් යැපෙන්නන් බවට පත් වෙන බව යි; වැඩ කරන දක්ෂ පිරිස මේ ක්‍රමය මගින් අධෛර්ය කරවන බව යි; ඒ අයගේ කාලයට ශ්‍රමයට හැකියාවට සරිලන ප්‍රතිලාභ මේ ක්‍රමය මගින් අහිමි කරන බව යි. ඔවුන්ට අනුව නිදහස් වෙළඳ පොළ ඊට වඩා නිවැරදි සමාජවාදී දැක්මක්. වෙළඳ පොළ ඉල්ලුම ගොඩ නැගෙන්නේ සමාජ අවශ්‍යතා අනුව පමණ යි. රාජ්‍ය නියාමනය යටතේ නිදහස් වෙළඳ පොළ සියළු දෙනාට ම සමානව සෞභාග්‍යයේ දොර අරිනවා.

සමාජයක් ඇතුළේ රජයේ බලපෑම කොහොම විය යුතුද කියන එක කෙනෙකුගේ දේශපාලන මතය තීරණය කරන තවත් අක්ෂයක්. පරම ස්වතන්ත්‍රවාදය (libertarianism) යොජනා කරන්නේ රජයේ පාලනය අවමයකට ගෙන ඒමෙන් පුද්ගලික නිදහස උපරිමයකට ගෙන ආ හැකි බවයි; ඔවුන්ට අනුව අද ලෝකයේ තියෙන කිසි ම රජයක් මේ තත්වයට ඉඩ දී නැහැ. ඒකෙ අනෙක් අන්තය වෙන්නේ රාජ්‍ය පරිපාලනය ශක්තිමත්වීම අත්‍යවශ්‍ය දෙයක් හැටියට හිතන සර්වාධිකාරීත්වය හෝ ඒකාධිපතිවාදය; එක්තරා නිශ්චිත පිරිසක් හෝ එක පුද්ගලයෙක් සමාජය මුළුමනින් ම පාලනය කිරීම. ශක්තිමත් රාජ්‍යයක අත්‍යවශ්‍යතාවය පිළිගන්න අය පෙන්වන්නේ පුද්ගලික අංශයේ නිදහස සාමාන්‍ය ජනතාවට හානිකර දෙයක් හැටියට. ඒ අනුව ස්වතන්ත්‍රවාදී ආර්ථික නිදහස ඇස්බැන්දුමක්; එවැනි ක්‍රමයක් යටතේ සම්පත් පාලනය කිරීම සහ දුර්වල රජයන් තම අවශ්‍යතා අනුව හැසිරවීම ක්‍රමයෙන් ලෝකයේ ඉතා ම සුළු කොටසක් අතට පත් වෙනවා. රාජ්‍ය හෝ ආයතනික නියාමනයක් නැති නිසා හෝ නියාමනය දුර්වල නිසා ඒ සුළු පිරිස අනික් සියළු තරගකාරයින්ගේ පැවැත්ම ක්‍රමයෙන් අහෝසි කර දමනවා. සම්පත් සහ බලය නැති නිසා ඊට විරැද්ධව නැගී සිටීමට අලුත් තරගකරැවන්ට හෝ සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ.

මාක්ස්වාදී මතයට අනුව නම් ග්‍රාමීය සමාජවාදය හෝ ස්වතන්ත්‍රවාදය යනු ධනවාදය දිගට ම රැක ගෙන යන මතවාද විතරයි. සෝවියට් රැසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ කඩා වැටීමට හේතුව නොනවතින ලෝක විප්ලවය සහ ඉන් මතුව එන අරාජිකවාදී කොමියුනිස්ට් තත්වයට යා යුතු දුෂ්කර මග අත හැර සමාජවාදයට සහ ඒකාධිපතිවාදයට පල්ලම් බැසීම යි. ධනවාදය යටතේ කිසි ම වෙළඳ පොළක් සැබෑ අර්ථයෙන් විවෘත නැහැ. නිශ්පාදනය හිමි පන්තිය මගින් ඒ පන්තියේ වාසිය පිණිස එය තීරණාත්මක මොහොතේ දී හසුරවනවා. ඊලඟට වෙළඳ පොළ ලාභය වෙනුවෙන් අනිත් සියළු වටිනාකම් සංවිධානගතව උල්ලංඝනය කෙරෙනවා: ආයුධ වෙළඳාම වෙනුවෙන් යුද්ධය හා ජාතික ආගමික බෙදීම්; ඖෂධ වෙළඳාම වෙනුවෙන් ලෙඩ රෝග; මිල පාලනය පිණිස අතිරික්ත සම්පත් විනාශය, රාජ්‍යයන් ආක්‍රමණය කිරීම, දේශසීමා, ජාතිකවාදය සහ තස්ත්‍රවාදය නඩත්තු කිරීම, රජ්‍යයන් අතර ණය ගනුදෙනු සහ වෙළඳ පරතර මගින් අධිකාරීය පවත්වා ගැනීම ආදිය උදාහරණ. ව්‍යාවසායකයින්ට අවශ්‍ය මේ තත්ව පවත්වා ගැනීම පිණිස ඔවුන් සාධාරණ රාජ්‍ය නියාමනය, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්ත්‍රීවාදය, ලිංගික නිදහස වැනි රැවටීම් සහිත අධිපති මතවාද නිරතුරැව භාවිතා කරනවා. නමුත් මාක්ස්වාදී විරෝධීන් කියන්නේ ප්‍රායෝගික තත්ව යටතේ ඔවුන්ගේ ක්‍රමයත් ඒකාධිපතිවාදය හෝ සර්වාධිකාරයෙන් එහාට ලෝකය ගෙන යාමට සමත් නැති මාවතක් ලෙස යි.

කොහොම වුණත්, ඇත්ත සමාජයක් ඇතුළේ තනි පුද්ගලයෙක් ගත්තොත් බොහෝ විට එයාගෙ අදහස මේ වාමාංශික-දක්ෂිණාංශික ආර්ථික අක්ෂය සහ ස්වතන්ත්‍ර-සර්වාධිකාරී පරිපාලන අක්ෂය අතර අතර කොහේ හරි පිහිටුමක්. 



ඊලඟට අපි හුඟක් දෙනෙක් හිතා ගෙන ඉන්නේ මේ විවිධ අක්ෂ අතර අපේ පිහිටුම නිතර ම නිදහස් තෝරා ගැනීමක් කියලයි; හැබැයි ඒක එහෙම වෙන්නේ ඉතා ම දුර්ලභ අවස්ථාවලදි විතරයි. ඇත්තට ම එක් එක් පුද්ගලයා මේ දේශපාලනික ආර්ථික මත පිළිබඳ තෝරා ගැනීමකට ස්ථාන ගත වෙන්නේ අති සංකීර්ණ හේතු රාශියක් නිසා. ඒවා අතරින් ඉතා ම සුලබ ම හේතුව තමන් ජීවත් වෙන සමාජය ඇතුළේ දැනට හිමිකම් කියන සම්පත් ප්‍රමාණය සහ දැණුවත් තෝරා ගැනීමකට කලින් අවිඥානිකව සහ මතවාදීව ස්ථානගත වී සිටින තැන; ඊලඟට කෙනෙක් සාමාන්‍යයයෙන් උත්සාහ කරන්නේ තමන්ගේ මේ අවිඥානික මතවාදය දැණුවත්ව සහ න්‍යායාත්මකව සාධාරණීකරණය කරන්න යි. ඒ කියන්නේ දැනට සාපේක්ෂව වැඩි සම්පත් ප්‍රමාණයකට හිමිකම් කියන හෝ සම්පත් උපයාගත හැකි මාවතකට පිවිසී ඇති කෙනෙක් බොහෝවිට දක්ෂිණාංශික ස්වතන්ත්‍රවාදියෙක් වීමට නැඹුරුතාවය වැඩි අතර; අඩු සම්පත් ප්‍රමාණයක් හිමි, සම්පත් උපයා ගත හැකි මාවතක් නොපෙනෙන කෙනෙක් දේශපාලනික වශයෙන් වාමාංශික ස්ථාවරයකට පිවිසීමේ වැඩි ඉඩක් තියෙන බව යි. වෙනත් විදිහකට කිව්වොත් අපේ මතය බොහෝ වෙලාවට තීරණය කරන්නේ අපේ ආර්ථික පසුබිම බව යි. 

මේක බැලු බැල්මට එකඟ වෙන්න බැරි දෙයක් වගේ පේනවා වගේ ම මේ අදහසට විරැද්ධ උදාහරණ දෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ ඇත්ත සමාජයේ ඕනැ තරම් දුප්පත් දක්ෂිණාංශික ස්වතන්ත්‍රවාදියො වගේ ම ධනවත් වාමාංශිකයො අපිට පෙන්නන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ තමන්ගේ ප්‍රකාශිත මතය මොකක් වුණත්, ක්‍රියාකාරීත්වය පැත්තෙන් පරස්පරයක් පෙන්නුම් කිරීමක්. තව දුරටත් කියනවා නම් ඒ අය සම්පත් බෙදී යා යුතු බව විශ්වාස කරන සම්පත් එක්රුස් කරන්නෝ වගේ ම සම්පත් අසමතුලිතතාව සාධාරණ බව පිළිගන්නා දුප්පතුන්. එවැනි  අය ඊලඟට පෙන්නන්නේ ධනවතුන් මහන්සියෙන් සම්පත් රුස් කරන අතර දුප්පතුන්ගේ නොහැකියාව, අලසකම, දේව කැමැත්ත හෝ පෙර කර්මය අවස්ථා නොලැබීමට හෝ  දුප්පත්කමට හේතු වෙන බව යි. හැබැයි ඇත්ත සමාජයක ප්‍රකාශිත මතය ගත්තොත් හුඟක් අය මේ අන්තවලට නොයා මැද තැනක ස්ථාන ගත වෙනවා දකින්න පුළුවන්; සැබෑ ක්‍රියාකාරීත්වයේ දී එක් එක් පැතිවලට නැඹුරැව වෙනස් කරන්නත් පහසු තැන මේක යි. එහෙම නැත්නම් අවංකව එක ම ප්‍රායෝගික සහ සාධාරණ තැන හැටියට කෙනෙකුට මේ මතවාදී මධ්‍යස්ථ බව පේන්නත්, තර්ක කරන්නත් පුළුවන්. 

ඊලඟට මේ විවිධ මතවාදී ස්ථාවරවල සාධාරණ අසාධාරණකම පිළිබඳ සැබෑ තක්සේරැවකට එන්න නම් දැනට ලෝකයේ සම්පත් බෙදී ඇති ආකාරය පිළිබඳ දත්ත අධ්‍යයනය කළ හැකියි. අධිකාරී ආර්ථික විශ්ලේෂක සමාගමක් වන Credit Suisse මගින් කළ 2015 සමීක්ෂණ වාර්තාවට අනුව අද ලෝකයේ සමස්ත වත්කම්වලින් හරියට ම අර්ධයකට වඩා අත්පත් කර ගෙන ඉන්නේ ලෝක ජනගහනයෙන් සියයට එකක ප්‍රතිශතයක්; ලෝක වත්කම්වලින් ඉතිරි අර්ධය ලෝක ජනගහනයෙන් සියයට අනූ නමයක් අතර බෙදී තියෙනවා. ලෝක ජනගහනයෙන් සියයට පනහකට වඩා මූලික සම්පත් අහිමි දැඩි දුප්පතුන්; සියයට දහයක ජනගහනයක් සඳහා ආහාර සහ ජලය වැනි මූලික අවශ්‍යතාවත් නැහැ. ඒ වගේ ම මේ අසමතුලිත බව දිනෙන් දින අධික වේගයෙන් ඉහළ යනවා; ඒ කියන්නේ දැනට ලෝකයේ ක්‍රියාත්මක වෙන ක්‍රමය ඇතුළේ ඇති නැති පරතරය වේගයෙන් වැඩි වෙන බවයි. දුප්පතුන් අධික වේගයෙන් වැඩි වෙන අතර, ලෝකයේ සම්පත් වේගයෙන් ඉතා සුළු පිරිසක් අතට පත් වේගෙන යන බව යි. හැබැයි ඒ සමගම මේ දර්ශකවලට අනුව ලෝකයේ අතිශය දුගී ප්‍රතිශතයේ යම් අඩුවීමකුත් දකින්න පුළුවන්; නමුත් සමස්ත ලෝක සම්පත් වර්ධනයට හෝ එයට සෘජුව සහභාගී වෙන පිරිසේ අනුපාතයක් ලෙස මේ වැඩිවීම අනුරෑප නැහැ.

මේ තත්වය යටතේ ඉහත සඳහන් කළ පැහැදිලි කිරීමට අනුව නම් ලෝක ජනගහනයෙන් අර්ධයක්වත් මතවාදී වාමාංශිකයින් විය යුතු යි. නමුත් ඇත්ත තත්වය එය නොවෙයි නම්, ඊට පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කළ හැකියි. එතනදි සැලකිල්ලට ගත යුතු පළවෙනි දේ යම්කිසි මතවාදයක් බාර ගැනීමේදී තමන්ගේ සමාජ-ආර්ථික පසුබිම වගේ ම ජීවත් වීමට අත්‍යවශ්‍ය කොන්දේසි නැවතත් වක්‍රව බලපාන බව යි; මේක මතවාදී වහල්බවට හේතුවක්. ඒ අනුව යම්කිසි අධිපති මතවාදයක් සමග එකඟතාවය පළ කිරීමෙන් කෙනෙකුට ජීවත්වීමට අවශ්‍ය මූලික කොන්දේසි සපුරා ගත හැකි යි. සමහරවිට දුප්පත් සහ අවස්ථා අහිමි ජනගහනයෙන් විශාල කොටසක් ඔවුන්ට අවාසි සහගත දක්ෂිණාංශයට බර මතවාද පිළිගන්නේ දැනට පවතින ධනවාදී ආර්ථික රාමුව තුළ එය අධිපති මතවාදය නිසා විය හැකි යි; සංවිධානගත ආගම, සමාජ සම්ප්‍රදාය, ඉරණම, කර්මය ආදි න්‍යාය ආදියත් මේ තත්වය පවත්වාගෙන යාමට උදව් කරනවා. ඒ වගේ ම ලෝකයේ දුප්පත් ම, ආහාර, ජලය වැනි පහසුකම්වත් නැති පිරිස කිසි ම දේශපාලන මතයක් ගැන කොහෙත් ම දැණුවත් නැහැ. ඔවුන්ගේ මූලික ප්‍රමුඛතාව කෙසේ හෝ එකිනෙකා පරදා එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීම යි; ඒ අර්ථයෙන් ඔවුනුත් ඩාවින්ගේ 'ශක්තිවන්තයාගේ පැවැත්ම' න්‍යායට අනුව ජීවත්වෙන අවිඥානික ස්වතන්ත්‍රවාදීන්!

අවසාන වශයෙන්, මේ ලිපිය කොහෙත් ම පරිපූර්ණ විග්‍රහයක් නොවෙයි; එයත් පවතින මතවාදවලින් නිදහස් නැහැ. නමුත් විවිධ ප්‍රවණතා පිළිබඳ සුලබව පවතින අර්ථ දැක්වීම් සහ පසුබිම ගැන දැණුවත් වීමෙන් හෝ විරැද්ධ වීමෙන් කෙනෙකුට තමන්ගේ මූලික දේශපාලන මතය ගැන යම් කිසි සරල තක්සේරැවකට පැමිණිය හැකි යි. තම මතය තීව්ර කර ගැනීමට හෝ වෙනස් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ මේ පැහැදිලි කර ගැනීම් තව තවත් ඉදිරියට ගෙන යාමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කරන උත්සාහයන්ගෙන්...

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...