උසාවිය නිහඬයි ද, මෝඩයි ද?


ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඬයි චිත්‍රපටයට අතුරැ තහනම් නියෝගයක් පැනවීම උසාවියේ ස්ථානෝචිත ප්‍රඥාවේ අඩුපාඩුවක් ලෙස සමහරැ දකිනවා. නමුත් උත්ප්‍රාසයක් හෝ ව්‍යංගයක් ලෙස හැර, “එසේ නොකළා නම් උසාවියට හොඳයි” යනුවෙන් මේ අදහස ප්‍රකාශ වීම අපේ දැක්මේ දුර්වල තැනක් එළි කරනවා. උසාවිය සහ සමාජය අතර සම්ප්‍රදායික පරතරය හෝ පරස්පරය, පවත්වා ගත යුතු තත්වයක් බවයි ඉන් ඉඟි ගැන්වෙන යටි අදහස. ‘උසාවිය බුද්ධිමත් නම්, ගෞරවාන්විත නම් කළ යුතුව තිබුණේ එයයි’ යනුවෙන් පැතීම අඩු පාඩු හෝ ප්‍රතිවිරෝධතා යටපත් කිරීමට සහ පවත්වා ගෙන යාමට පොළඹවන්නක්. එසේ වෙනවා නම් උසාවිය සහ එවන් බොහෝ ආයතනවල යල් පැන ගිය දූෂිත යාන්ත්‍රණය සහ අඩු පාඩු සාකච්ඡාවට ගැනෙන්නේ නැහැ.



නමුත් වාසනාවට මේ යුගයේ දී ජරාජීර්ණ ආයතනවල දුර්වලතා, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ලෙස අනිවාර්යයෙන් ම පුපුරා යනවා. ලෙනින් රත්නායක වැනි විනිසුරන් වර්තමාන ප්‍රවණතා ගැන, සමාජය ගැන, විකල්ප සහ පරිවාර මාධ්‍ය ගැන කෙතරම් නොදැණුවත් ද යන්නයි මේ ගැටළුවේ දී ඔහු අතුරැ තහනම් නියෝගයක් ගැනීමෙන් පේන්නේ. මේ සිද්ධිය නීතිමය සහ පරිපාලන යාන්ත්‍රණවල යල්පැන ගිය ස්වභාවය පෙන්වන, බොරැ දූෂිත සම්ප්‍රදායන් සහ ක්‍රියාකාරකම් එළි දක්වන, ඒවා සාකච්ඡාවට ගත යුතු බව පෙන්වන වටිනා අවස්ථාවක්. යුගයට ගැලපෙන පරිදි විනිවිදභාවයට ලක් කළ හැකි නව ආයතන පද්ධතියක් හෝ ක්‍රමවේදයක් සඳහා එවන් අවස්ථා වැඩි වැඩියෙන් ලැබේවා යි කියා අපි ප්‍රාර්ථනා කළ යුතු යි. 

ඒ වගේ ම කලා කෘති, කෘතිය ඇතුළතින් පමණක් නොව, එය සමාජය සමග ගැටෙන විදිහෙනුත් කාර්යභාරයක් ඉෂ්ට කරන බව පෙන්වන මොහොතක් මේ. කෘතියේ තහනම ඉවත් කිරීමෙන් නො නවතින, වඩාත් පුළුල් කතිකාවක් සහ අරගලයක් සඳහා මේ කෘතිය සහ සිද්ධිය යොදා ගත හැකි දැයි බැලීම අත්‍යවශ්‍ය යි.

විශේෂයෙන් ම මේ වාර්තා චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට ප්‍රසන්න ගත් දුෂ්කර නමුත් පරිණත උත්සාහය මෙතනදි මූලික වැදගත්කමක් දරනවා. සිනමා ප්‍රදර්ශනයක සුවිශේෂී බව, මාධ්‍යයක් හැටියට එහි ඇති අනන්‍යතාවය සහ ප්‍රබලතාවය, පරිවාර, විකල්ප, ඩිජිටල් මාධ්‍ය සමග සන්සන්දනය කරන විට සිනමාවේ හෝ වේදිකාවේ සජීවී සාමූහික ආකෘතිය තවමත් තීරණාත්මකය යන්න ආදිය මේ සිද්ධිය මතු කර පෙන්වනවා. ඒ අරැතින් සිනමාව භාණ්ඩයක් (product) නොව සිදුවීමක් (event) ලෙස සැලකීම වඩාත් සුදුසු යි. තාක්ෂණය භාවිතයෙන් අපි බලෙන් අත්පත් කර ගත්, පරිගණක තිරයේ දර්ශනය වෙන නිදහස සහ සාධාරණත්වය, අපේ සමාජයේ කෙතරම් ස්ථාපිත ද, වලංගු ද, වැදගත් ද කියන එක තවමත් පේන්නේ උසාවියේ දී, සිනමාශාලාවේ දී, පේරාදෙණියේ වළේ දී සහ වෙළඳපොළේ දී! මේ අක්ෂ දෙක අතර දිනෙන් දින අලුත් වෙන අන්තර්සම්බන්ධය ඉතා ම තීරණාත්මක යි; අන්තර්ජාලයේ පේන්නේ මේ හැම දේ ම එක මානයක් විතර යි. ඒ නිසා වරින් වර කරන මෙවැනි ලිට්මස් පරීක්ෂා හරි වැදගත්.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...