උසස් අධ්‍යාපනය ඉගැන්වීම සහ ඉගෙන ගැනීම...


ලංකාවේ උසස් අධ්‍යාපනයේ ඉදිරි ගමන ගැන සංවාදය ආයෙත් ඉදිරියට ඇවිත්. ‘යමු’ කණ්ඩායමේ චන්දන ප්‍රසන්න, නිදහස් හෙවත් නොමිලේ අධ්‍යාපනය ලබා දීමට එරෙහි කඳවුරේ තර්ක ඉතා ම තදින් ‘දැනෙන්න’ ඉදිරිපත් කරලා තියෙනවා. සුපුරැදු පරිදි ඊට එරෙහි ප්‍රතිචාර වැඩියෙන් ම එල්ල වෙන්නේ පුද්ගලික අපහාස හැටියට. මේ අපහාස සහ බැණ වැදීම් පෙන්නුම් කරන වැදගත් ම දේ ‘නොමිලේ’ දෙන උසස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බොහෝ අයට, ඒ පැත්තට තිබිය හැකි තර්ක හෝ ඒවාට එන සැබෑ විරෝධතා ගැන ඇති දැවැන්ත නො වැටහීම. හරියට ම නම් සයිටම් ආයතනයේ අර්බුදය සහ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ රැල්ල අපේ උසස් අධ්‍යාපනයේ ඇති සැබෑ ප්‍රශ්න තීරණාත්මක විදිහට එළියට දාලා තියෙනවා. නමුත් ඇත්තට ම ප්‍රශ්නය මොකක්ද කියලා හඳුනා ගන්නවට වඩා අන්තවාදී කඳවුරැ දෙකක් අතර ගිනි ඇවිලෙන තරගයක් විදිහටයි අද අධ්‍යාපනය පිළිබඳ මේ සංවාදය පවතින්නේ. ජයග්‍රහණය වෙනුවෙන් යම් යම් සැබෑ තොරතුරු යටපත් කිරීම, නො තකා හැරීම වගේ ම, විකෘති කිරීමත් දෙපැත්තෙන් ම කෙරෙනවා. ප්‍රශ්නයක් දැනෙන විදිහට එළියට ගේන්න නිතර ම අන්තවාදය හොඳ විදිහක් වුණත්, උසස් අධ්‍යාපනය ගැන හැකිතාක් එකඟ විය හැකි, දේශීය සහ ලෝක තත්ව යටතේ කෙරෙන සරල හෝ සමාලෝචනයකුත් තිබීම වැදගත්. රාජ්‍යය සහ අධ්‍යාපනයේ පතුළ තියෙන්නේ සංකීර්ණ පදනම්වල වුණත්, මේ දැනට පවතින ප්‍රශ්නෙට සාපේක්ෂ උත්තරයක් පිළිබඳ යෝජනාවක්.


එතන දි පළමුවෙන් ම පිළිගත යුතු දේ ලංකාවේ උසස් අධ්‍යාපනය දැනට පවතින ස්වරෑපයෙන් ම දිගට ම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙන අය සහ ඒ සඳහා පෙනී සිටින අය මේ සංවාදයේ සිටින දුර්වල ම පිරිස බව යි. පවතින ලෝක තත්වයත්, දැනට ලංකාවේ උසස් අධ්‍යාපනයේ ස්වරෑපයත් මේ මතය මොන විදිහටවත් සාධාරණීකරණය කරන්නේ නැහැ. අපිට කළ හැකි හොඳ ම සහ එක ම දේ, එන වෙනස හැකි තරම් ගුණාත්මක පැත්තකට හරව ගන්න එක විතරයි.

මෙතනදි මුලින් ම, අපිට මග අරින්න බැරි සත්‍ය කරැණු ගණනාවක් බාර ගන්න වෙනවා. චන්දන කියනවා වගේ ම උපාධිධාරියෙක් එළියට දාන්න මහජන මුදලින් ලක්ෂ ගණනක් අනිවාර්යයෙන් ම වැය වෙනවා; ඒ එක්ක ම එළියට එන උපාධිධාරියාගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව පිළිබඳවත්, ඊට ගැලපෙන රැකියා පවතී ද යන්න ගැනත් ගැටළුවක් තියෙනවා. මේ කාරණයෙදි සිංහලෙන් විතරක් ඉගෙන ගන්නා කලා උපාධිධාරීන්ගේ දැණුම ගැනත්, රැකියා වෙනුවෙන් එහි ඇති ප්‍රයෝජනවත් බව ගැනත් විශේෂයෙන් ප්‍රශ්න කෙරෙනවා. උපාධියයි රැකියාවයි අතර සම්බන්ධය ගැන කතාව මදකට කල් තැබුවොත්, මෙතන වැදගත් ම දේ යොදවන මහජන මුදලට හරියන ගුණාත්මක බව, ලබා දෙන අධ්‍යාපනයේ නැත්නම්, වහාම එය විසඳා ගත යුතු බව යි. ඒ වගේ ම එම අධ්‍යාපනය තව දුරටත් පොදු සමාජයේ දියුණුව වෙනුවෙන් කෙරෙන ඵලදායී ආයෝජනයක් නො වෙයි නම් ඒ සඳහා මහජන බදු මුදල් වැය කිරීම කිසිසේත් ම සාධාරණ නැහැ. ඊලඟට මේ ගුණාත්මක බව පහළයාම සඳහා බලපාන්නේ, විශ්ව විද්‍යාල පද්ධතිය රටේ ආර්ථික පද්ධතිය සමග නො පෑහීම, හොඳ ගුරුවරුන් සහ පර්යේෂකයින් දේශීය විශ්ව විද්‍යාල සේවයේ වැඩි වශයෙන් රඳවා ගත නො හැකි වීම, යල් පැන ගිය දැණුම, විෂය නිර්දේශ සහ අහිතකර අධිකාරී පවත්වා ගෙන යාම, විවිධ භාෂා දැණුම නැති වීම, තාක්ෂණය සහ පහසුකම් නැති වීම, ශිෂ්‍ය සහ ගුරැ ආකල්ප අධ්‍යාපනය දෙසට ඉලක්ක නොවීම, කළමණාකරණය දූෂිත වීම සහ දේශපාලනීකරණය වීම, රාජ්‍ය සහ දේශපාලන මැදිහත්වීම් හැම විට ම වංක සහ අවස්ථාවාදී වීම වගේ සංකීර්ණ හේතු රාශියක්.


නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ අය මේ තත්වයට ඉදිරිපත් කරන විසඳුම ප්‍රධාන ආකාර දෙකක් ගන්නවා: පළමුවැන්න අලුත් පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාප්ත කිරීම යි; දෙවැන්න නොමිලේ හෙවත් නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම අහෝසි කිරීම යි. පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා ඇතිවෙන තරගයේ දී රාජ්‍ය විශ්ව විද්‍යාල එක්කෝ තම අඩුපාඩු මොනයම් ආකාරයකින් හෝ නිවැරදි කර ගෙන, ගුණාත්මක බව වැඩි කර ගෙන තරගයට එකතු විය යුතු යි; නැත්නම් තරගයට මුහුණු දිය නො හැකිව අහෝසි වී යා යුතු යි. මේ මොන ක්‍රමයෙන් හෝ බදු ගෙවන්නන්ට අවසානයේ දී සාධාරණය හෝ නිදහස ලැබෙන බවයි ඔවුන් ගෙනෙන තර්කය; ඒ අනුව සයිටම් වැනි ආයතන සඳහා ඉඩ හැරීම හොඳ ආරම්භයක්. 

මේ තත්වය යම් තරමකින් හෝ සැබෑවක් වීමට නම් මූලික අවශ්‍යතා කිහිපයක් අත්‍යවශ්‍ය යි. පළමුවැන්න, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා තරගයක් දෙන පෞද්ගලික විශ්ව විද්‍යාල, රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා ඉහළ ප්‍රමිතියකින් යුක්ත වීම. එසේ වීමට නම් සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල ඉක්මවා යන ආයෝජනයක් පෞද්ගලික විශ්ව විද්‍යාල වෙත යෙදවිය යුතු යි. සන්සන්දනාත්මකව වඩා ඉහළ පහසුකම්, නවතම දැණුම, විෂය නිර්දේශ සහ තාක්ෂණය අත් පත් කර ගැනීම, ඉහළ මට්ටමේ ගුරුවරුන් ආකර්ශනය කර ගත හැකි වීම, දේශපාලනීකරණය හෝ දූෂිත නොවූ කළමණාකරණය ආදිය මෙහි දී මූලික අවශ්‍යතා. නමුත් මේ හැම දෙයක් ම ඉක්මවා යන ප්‍රධාන ම අවශ්‍යතාවය වෙන්නේ හැකියාව සහ දක්ෂතාවය පැත්තෙන් ඉහළ ම සිසු පිරිසක්. 

මෙතන දි පෞද්ගලීකරණයට එරෙහිව ඇති තර්කත් සලකා බැලීම අවශ්‍ය යි. ලංකාව වැනි රටක අධ්‍යාපනය සඳහා අධික මිලක් ගෙවිය හැකි පිරිස ඉතා අඩු අතර, ඒ පිරිස අතරිනුත් විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමේ අවශ්‍යතා සපුරන, දක්ෂ අයගේ පළමු තේරීම වෙන්නේ අනිවාර්යයෙන් ම විදේශීය විශ්ව විද්‍යාල. ඊලඟට කොහොමත් විදේශීය විශ්ව විද්‍යාල මගින් ඉංග්‍රීසි දැණුම ඇති, කැපී පෙනෙන දක්ෂ උපාධිධාරීන් පශ්චාත් උපාධි මගින් විදේශවලට ඇද ගන්නවා. එහෙම නම් ලංකාව වැනි රටක, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉලක්ක විය හැක්කේ දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලවලට තේරීමේ අවශ්‍යතා සම්පූර්ණ නො කළ සහ විදේශීය විශ්ව විද්‍යාලවල වියදම දැරිය නො හැකි පිරිසක්. සාපේක්ෂව පොඩි වෙළඳපොළක් ඉලක්ක කරන මෙවැනි ආයතනවලට තරගකාරී ආයෝජන ලැබීමට සාධාරණ හේතුවක් නැහැ. ඒ වගේ ම ආයෝජන අඩු මෙවැනි ආයතනවලට උසස් දක්ෂතා ඇති සිසු පිරිසක්, හොඳ ගුරැවරැන් සහ පර්යේෂකයින් ආකර්ශනය කර ගැනීමේ හැකියාවත් අඩු යි; එහෙම යෝජිත ක්‍රමවේදයකුත් නැහැ. ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ලෝක ශ්‍රේණි ගත කිරීම්වලදී රාජ්‍ය විශ්ව විද්‍යාලවලටත් වඩා ගව් ගණනක් ඈතට යන්නේත් මේ නිසා. විශේෂයෙන් ම සමීක්ෂණවලින් පසු, විදේශීය විශ්ව විද්‍යාල ඔවුන්ගේ නිල ශාඛා ලංකාව වැනි රටවල ඇරඹීමට පසුබට වීමටත් හේතුව මෙය යි. ලංකාවේ සාමාන්‍ය ආර්ථික මට්ටම්වල සිටින අයටත් මේ ආයතනවලට ගෙවීමට සිදුවෙන සාපේක්ෂව අධික වියදම් දැරිය නො හැකි නිසා, මේ ආයතන උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා නැති, ඊට සුදුසු ඕනැ කෙනෙකුට අධ්‍යාපනය ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හැටියට පෙන්වීමත් අවංක නැහැ.


ඊලඟට පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට පක්ෂ අය පෙන්වා දෙන තවත් කාරණයක් වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනය, ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලය සහ මැසුචුසෙස්ට් තාක්ෂණික ආයතනය වැනි රාජ්‍ය නොවන ආයතන, ලෝක ශ්‍රේණි ගත කිරීම්වලදී ඉහළ ම මට්ටම්වලට පැමිණීම යි. නමුත් මෙවැනි ආයතන, රාජ්‍ය නොවන ආයතන හැටියට පැවතී ම සම්පූර්ණයෙන් ම වෙනත් පසුබිමකින් සිදු වෙන්නක්. අනෙක් විශ්ව විද්‍යාල රාජ්‍ය භාරයට ගනිද්දී, ඒවා රාජ්‍යයට නො ගැනුනේ එවකට ඒවායේ පැවැති නො බැඳි ස්වරෑපය සහ ස්වාධීනත්වය වඩාත් තහවුරැ කිරීමේ අරමුණින්. ලෝක මට්ටමෙන් විශ්ව විද්‍යාල රාජ්‍යයන්ට අනුබද්ධ කිරීමට පෙර සිට ම, මේ ආයතන ස්වාධීන ආයතන ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වූ ඒවා. ඒ වගේ ම, මේ උසස් අධ්‍යාපන ආයතන ආරම්භ වෙන්නේ අනුග්‍රාහක පරිත්‍යාගවලින් සහ තවමත් පාලනය වෙන්නේ ඡන්දයෙන් පත්වෙන භාරකාර මණ්ඩලවලින්; ඒ වගේ ම ඒවා රජයෙන් විශේෂ බදු සහන සහ අනුග්‍රහ ලබන, ලාබ නොලබන ආයතන. මේ විශ්ව විද්‍යාලවලට ඇමරිකානු සිසුන් බඳවා ගැනීමේ දී ඉහළ ම සුදුසුකම් මිස ගාස්තු ගෙවීමේ හැකියාව කොහෙත් ම සලකා බලන්නේ නැහැ; සියළුම සිසුන් සඳහා කවර හෝ මට්ටමක ශිෂ්‍යත්ව ලබා දෙන අතර, ඉහළ සුදුසුකම් ඇති විදේශීය සිසුන්ට අර්ධ ගාස්තු ගෙවීමේ පදනම මත ඒවාට ඇතුල් විය හැකි යි. මේ සඳහා ඔවුන් අරමුදල් රැස්කරන්නේ ලෝකයේ ඉහළ ම පර්යේෂණවලට සහ ව්‍යාපෘතිවලට අවශ්‍ය සේවා ලබා දීමෙන් සහ සහ පරිත්‍යාග ආයෝජනය කිරීමෙන්. රාජ්‍යයන්ට නිල වශයෙන් අනුබද්ධ වුනත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් වැනි සරසවිත් හැකි තාක් තම ස්වාධීනත්වය සහ ප්‍රමිතිය ආරක්ෂා කර ගන්නේත් මෙවැනි ක්‍රම මගින්. එංගලන්තයේත් මෑත කාලයේ දී පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුණු නමුත්, ඒවාත් ලාබ නො ලබන, භාරකාර මණ්ඩලවලින් පාලනය වෙන, බරපතල නියාමනයන්ට යටත් විශ්ව විද්‍යාල. මෙවැනි පාලන ක්‍රම එක්තරා විදිහකට විකුණන දේ මගින් නො විකුණන අධ්‍යාපනය නඩත්තු කිරීමේ ක්‍රමයක්; එහෙම නැත්නම් විකුණන අතර ම අධ්‍යාපනයේ නිරත අයට විකුණන බව හංගන ක්‍රමයක්. නූතන ක්‍රමය ඇතුළේ දැනට ඇති එක ම තාවකාලික හෝ විකල්පය ඒක විතර යි.

උසස් අධ්‍යාපනය ‘නිදහස්’ වෙළඳ පොළට අත හැරීමෙන් සාර්ථක ප්‍රතිපල ලැබිය හැකි නම් ඒවා මුලින් ම සාර්ථක විය යුත්තේ ඇමරිකාව, බටහිර යුරෝපය සහ සැකැන්ඩනේවියන් රටවල යි. නමුත් මේ රටවල් සියල්ල ම උසස් අධ්‍යාපන ආයතනවල සාපේක්ෂ ස්වාධීනත්වය එම රටවල ඉහළ ජීවන ප්‍රමිතියේ අවියෝජනීය කොටසක් බව හඳුනාගෙන තියෙනවා. ඇමරිකාව සහ එංගලන්තය ඒවායේ ප්‍රධාන උසස් අධ්‍යාපන ආයතන පනත් මගින් ම ලාබ නො ලබන, රජයෙන් හෝ පරිත්‍යාග ආයෝජනවලින් පමණක් යැපෙන ආයතන බවට පත් කර තිබෙන අතර, සීමිත තත්ව යටතේ පවත්වා ගෙන යන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල භාරකාර මණ්ඩලවලින් ම නියාමනය විය යුතු යි; උපාධි පිරිනැමීමේ බලය ද ඇත්තේ පිළිගත් ප්‍රමිතිගත විශ්ව විද්‍යාලවලට පමණ යි. සැකැන්ඩනේවියන් රටවල නම් ප්‍රධාන අධ්‍යයන ආයතන මුලුමනින් ම මෙන් පාලනය වෙන්නේ රජයේ අරමුදල් සහ ශිෂ්‍යත්ව ක්‍රම මගින්. 

එහෙනම් අපේ රටට ගැලපෙන සහ පැවතිය හැකි උසස් අධ්‍යාපන ආකෘතියක් පටන් ගන්න වෙන්නෙත් දැනට තිබෙන ආකෘතිය කඩිනම් පරිවර්තනයකට භාජනය කිරීමෙන් පමණ යි. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අරමුදල් පරිහරණය සහ පරිපාලනය යම් තදබල නියාමනයක් යටතේ ස්වාධීන කිරීම, ඒ සඳහා පෞද්ගලික ආයෝජනවලට ඇරයුම් කිරීම, ඵලදායී ව්‍යාපෘති සඳහා උසස් ප්‍රමිතියකින් යුත් පර්යේෂණ ඇරඹීම, සිසු ගුරැ හවුල් මත පදනම් වෙන ප්‍රායෝගික ව්‍යාපෘති ආරම්භ කිරීම, ඇතුලත්වීමේ අවම අවශ්‍යතා සපුරන දේශීය සහ විදේශීය සිසුන්ට ගෙවා ඉගෙන ගත හැකි සරසවි අවස්ථා දීම ආදිය මෙවැනි යෝජනා. ඒ වගේ ම ඉහළ සුදුසුකම් සපුරන සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය, සුදුසුකම් යම් මට්ටමක් දක්වා ගාස්තුවලින් ඌණ පූරණය කළ හැකි ක්‍රම සැකසීම වැනි දේ ත් කළ හැකි යි. මේ මගින් හැකියාවන් සහිත හොඳ ගුරැවරැ ඉහළ ගෙවීම් සහිතව සරසවි තුළ රඳවා ගැනීමට හැකි වීම, වැඩි සිසු පිරිසකට සරසවි වරම් දීම, ආර්ථික හැකියාවන් සහිත පිරිස විශ්ව විද්‍යාල පද්ධතියට ආකර්ශනය කර ගැනීම සහ විශ්ව විද්‍යාල සාමාන්‍ය නීතියට සහ සේවා ලබන්නන්ට වග කිව යුතු වීම ආදිය බලාපොරොත්තු විය හැකි යි. එවැනි තරගකාරී ආකෘති බිහිවීමෙන් පසුව සම්පූර්ණයෙන් ම පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳව සිතා බැලිය හැකි යි. නමුත් මෙවැනි ක්‍රමයක් සඳහා බල කිරීමට සහ ක්‍රමවත් සහ අවංක වැඩපිළිවෙලක් සැකසීමට නම්, ලංකාවේ පිරිහුණු සමස්ත දේශපාලන-ආර්ථික ආකෘතිය ප්‍රධාන බාධකයක් හැටියට පවතින බව පිළිගන්න වෙනවා. මෙවැනි වියුක්ත කතිකාවලින් එවැනි සංකීර්ණ අභියෝග ජය ගත හැක්කේ කෙසේද යන්නත් වෙන ම සංවාදයක්.

කොහොම වුණත් මෙවැනි පිළිතුරක් ප්‍රතික්ෂේප කළොත් ලංකාවේ සිදුවිය හැක්කේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා ගුණාත්මක බවෙන් අඩු කුඩා කණ්ඩායම් ඉලක්ක කර ගත් ‘සරසවි කඩ’ වැනි ආයතන බිහි වීම යි. මේ අයට තමන්ගේ වෙළඳ පොළ ව්‍යාප්ත කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් තියෙනවා. එතන දි තරගය එක්ක සේවාවේ ගුණාත්මක භාවය ඉහළ යෑම පිළිබඳ න්‍යායාත්මක සංකල්පය බල පවත්වන්නේ වෙළඳ පොළකට බලපාන අනෙකුත් සියළු ම ප්‍රයෝගික සාධක ඉවත් කළ පසු පමණ යි. ඒත් ලංකාව වැනි රටක සිසුන්ගේ මූල්‍යයමය දැරීමේ හැකියාව ඉහළ නො යන නිසා සහ වෙළඳ පොළ සීමිත නිසා, මේ ආයතනවලට එකිනෙකා එක්ක තරග කළ හැක්කේ ප්‍රමිතිය සමග ම මිල පහළ දැමීමෙන් පමණ යි. ඊලඟට අනියම් රාජ්‍ය බලපෑම් සහ දූෂිත ක්‍රම මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තවත් අඩපණ කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇති. ඒ වගේ ම, අසත්‍ය වෙළඳ ප්‍රචාරණය, තරගකාරයා අනියම් ක්‍රම මගින් විනාශ කිරීම, දූෂිත ක්‍රම මගින් රජයෙන් ම ණය ලබා ගැනීම, වක්‍ර දේශපාලන බලපෑම් ආදිය ලංකාව වැනි දූෂිත රටක සුලබව ක්‍රියාවේ යෙදෙන වෙළඳ උපක්‍රම. මෙවැනි තත්වයක් යටතේ ප්‍රමිතියෙන් අඩු රාජ්‍ය අධ්‍යාපනය වෙනුවට ප්‍රමිතියෙන් අඩු පෞද්ගලික අධ්‍යාපනයක් සහ ඒ හා බැඳුණු දැනටත් වඩා දරැණු අක්‍රමවත් ප්‍රශ්නාවලියක් තමයි වැඩියෙන් ම බලාපොරොත්තු විය හැක්කේ. එවිට රැකියා අවස්ථාවලට ගැලපෙන උපාධි නිර්මාණය පවා ආපහු වෙළඳ පාඨයක් විතරක් වීමට ඇති ඉඩ වැඩි යි.

නමුත් මෙතනදි පෙන්වන, ‘පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයේ දී අඩු ප්‍රමිතියක අධ්‍යාපනයට වුණත් ගෙවන්න ඕනැ ඒ අධ්‍යාපනය ලබන පුද්ගලයා මිසක් සමාන්‍ය මහජනතාව නෙමයි’ කියන එක බැලු බැල්මට හොඳ තර්කයක්. නමුත් අඩු ප්‍රමිතියක අධ්‍යාපනයට මුලදි කවුරැ ගෙව්වත්, ඒ අය වැඩට බැස්සහම අවසාන ගෙවීම කරන්න වෙන්නේ ආපහු හැමෝට ම. ඒක දැනටත් එහෙම නම්, ඉස්සරහටත් එහෙම ම පවතින ක්‍රමයකින් අපිට වැඩක් නැහැ. අපිට ඕනැ වැඩි ප්‍රමිතියකින් යුත් ප්‍රයෝජනයක් ඇති දියුණු අධ්‍යාපන ක්‍රමයක් දැනට පවතින සහ ලෝක මට්ටමෙන් ම වෙනස්වෙන ක්‍රමය ඇතුළේ හදා ගන්න මිසක් අධ්‍යාපනයත් ලාබ ලබන ව්‍යාපාරයක් කරන්නෙ කොහොමද කියන එක නෙමෙ යි. අනිත් දේවල් වගේ නෙමෙයි අධ්‍යාපනය විකුණන්න නම් අධ්‍යාපනයක් කෙරෙන්න ඕනැ; මොකද ඒකට තියෙන්නේ සංකේතීය වටිනාකමක් විතරක් නෙමෙයි නිසා. විකිපීඩියා වගේ නිදහස් අධ්‍යාපන ක්‍රම ඕනැ වෙන්නෙත්, ඒකට ඉඩ දීල තියෙන්නෙත් ඒක යි. හැබැයි බෙදා හදා ගන්න කොට වැඩිවෙන අධ්‍යාපනය, විකුණන කොට හෙමින් ම නැතිවෙලා යනවා. ඒක විකිණීමේ තියෙන ලොකු ලෙඩක්; විකිණීම ලෝකෙට කියල දෙන අය දන්න, හැබැයි හංඟාගෙන ඉන්න රහසක්...

Comments

  1. යමු එමු නාමු නටමු කමු බොමු කියලා කාලෙන් කාලෙට කල්ලි හදාගන්නවා. ඒ ඔය එක එක ඇම්ම තියන එවුන්. උන් ටික කලකින් ඔව්වා අතෑරලා යනවා පැදුරටත් නොකියා. එතැනින්ම අර යමු එමු කල්ලි ඉවරයි. ඉතිහාසයේ වුණෙත් අනාගතේ වෙන්නෙත් ඒ ටිකම තමයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...