ඉතින් කොස්තා ඔයා....

අද කාලේ ජීවත් වීම මරණයක් වෙන සමහර අයට ඇත්තට ම ජීවිතයක් ලැබෙන්නේ මරණයෙන්; ඒ ජීවිතයේ හැඩය මැරෙන අයට වඩා ජීවත් වෙන අයට හරි වැදගත්. ඒත් විමල් කුමාර ද කොස්තාට දෙන්න ඕනැ හැඩය අඳුර ගන්න එක ලේසි නෑ; ඒ හැඩතල එළියට අදින කොට අනවශ්‍ය කරදර ගොඩාක් ඒ එක්ක එළියට එනවා. ඒ නිසා කොස්තාව අමතක කරලා තිරයේ පේන චරිත ගැන කතා කරන එක ඊට වැඩිය පහසුවක්. ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටියේ අවසානයේ එන්නේ දුෂ්ටයාගේ මරණය. චිත්‍රපටියේ රඟපාන අය පොකුණ දිහාත්, චිත්‍රපටිය බලන අය තිරය දිහාත් කෝපයෙන් බලාගෙන ඉන්නවා. ස්ත්‍රී දූෂක දුෂ්ටයාගේ ගිලී මිය ගිය සිරුර වතුරෙන් මතු වෙනවා. අපේ කෝපයට සරිලන විදිහට විනාශවෙලා ගිය, කැඩී බිඳී ගිය, දඬුවම් ලබපු සිරුරක් වෙනුවට මතු වෙන්නේ වෙනම රූපයක්; අත් දෙක ඉහළට පටළවා ගත්ත, ඇස් දෙක විකාර කර ගත්ත, නැටුම් ඉරියව්වකින් යුත්, අමුතුම දඬුවමක් ලබපු මළ සිරුරක්. අපේ කෝපය එක පාරටම කඩා වැටිලා, අනුකම්පාවක්, හිනාවක් වගේ ම, කෝපය ගැන ලැජ්ජාවකුත් එනවා. දුෂ්ටයාගේ චරිතයට අලුත් මානයක් එනවා වගේ ම, චරිතෙ පසා කරගෙන, තිරය කුඩු පට්ටම් කරගෙන ආයෙත් කොස්තා මතු වෙනවා.


ලංකාවේ සිනමා ඉතිහාසයට දෙන්න තමන් වෙනුවෙන් අනුන් ලියපු ලොකු කතන්දර නැති නළුවෙක් විමල් කුමාර ද කොස්තා. කොහොමත් කොස්තට තෝරා ගන්න වෙලා තිබුණු තැන අපේ රටේ එච්චර කතා ලියවෙන තැනක් නෙමෙයි. අපේ සිනමාව ඇතුළේ කොස්තා හරියට ම වීරයත් නෙමෙයි; දුෂ්ටයත් නෙමෙයි; විකටයත් නෙමෙයි; මෝඩයත් නෙමෙයි; කපටියත් නෙමෙයි. හැබැයි මේ හැම චරිතයකටම හැදිලා තිබුණු රාමු අස්සෙන් රිංගලා, සමහර වෙලාවට ඒවා කරේ තියාගෙන, ඒවා වැටෙන්න දෙන්නෙ නැතුව එක කාලයක් අල්ලගෙන හිටියේ කොස්තා. 


අපේ චිත්‍රපටිවල චරිත අතර ජීවිතයේ බර බෙදිලා ගියේ අසමාන විදිහට. හිස්, පැතලි බෝනික්කන් වගේ චරිතවලින් හැලුණු ජීවිතය බොහෝ වෙලාවට එළියට ආවේ පරිවාර චරිතවලින්. පිටපතේ නැති, වට්ටෝරුවේ නැති ජීවිතය අතින් දාලා තිරය උඩට ගේන්න කොස්තා හපනෙක්; ජීවිතය ගැන අදහසක් තිබුණු සිනමාවේදීන්ට ජීවිතයේ හැංගුණු අහුමුළු අවුස්සලා එළියට ගන්නත්, මතුපිට පාවෙන, ඇහැට අහු නොවෙන සැහැල්ලුව කැමරාවට අල්ලලා දෙන්නත් කොස්තා හපනෙක්. අවරූපණය තිබුණු තැන්වල අධිරූපණයෙන් නැත්නම් අභිරූපණයෙන් හරි ගොඩ දාන්නත්, තමන්ගේ ඇඟ ඇතුළෙ ම තිබුණු අධිරූපණය කැමරාවට හරියන තරමට තුනී කරන්නත් කොස්තට පුළුවන්. සාමාන්‍ය ජීවිතේ හැබෑවටම පෙන්නන්නත්, කාටූන් වගේ පැතලි කරන්නත්, අවශ්‍ය තැන් උළුප්පන්නත්, අතාත්වික බවෙන් තාත්විකත්වය ගැන ඇත්තක් මතු කරන්නත් කොස්තා දැන ගෙන හිටියා. කොස්තා ඉන්නව නම් අනෙක් හැම චරිතයකින් ම පිරිමහගන්න බැරි වූ විශාල අඩුවක් වැහිලා ගියා. ඔහුගෙ තැන වහන්න නළුවෙක් නැති චිත්‍රපටිවල ඒ පාඩුව ලොකුවට පෙණුනා.


කොස්තා වේදිකාවෙන් සිනමාවට ඇවිත් හැම තිස්සෙ ම ඒ දෙක අතර වෙනස හොයපු ගවේෂකයෙක්; අධ්‍යක්ෂකවරු අර පැත්ත බලන්න, මේ දෙබස කියන්න, මෙතනට ඇවිත් හිට ගන්න කියන කොට, චරිතවල අතීත කතා, අවස්ථා සම්බන්ධ ගැන අහන කරදරකාරයෙක්; අන්තර්ජාල වීඩියෝවලට ඉඩ දීලා සිනමාවත්, සිනමාවට ඉඩ දීලා වේදිකාවත් යන්න ඕනැ කියල අපි හිතන කොට, වේදිකාව නැතුව බැහැ කියලා වැලපෙන ඩයිනෝසරයෙක්. අපි මේ එක එක රාමු අරගෙන විශ්වීය විදිහට සසඳන කොට, කොස්තා ඒ ඒ රාමුවලට යටින් අපේ රටේ ඇත්තට ම වෙන දේ සසඳන්නෙක්; වේදිකාවේ රඟපානවා කියන්නේ ජීවිතේ බොරු වැදගත් කම්, මහේශාක්‍යකම් ගලවල තියලා වෙනම කතුරු ඔන්චිල්ලාවකින් ගිහින් එන පාරමිතා ගමනක් කියලා දැනගෙන හිටපු පෙරුම් පුරන්නෙක්; කාල අන්තරවලට හුරු වීම, සහෘදයා එක්ක සජීවී ගණුදෙණුව සහ ඉවරයක් නැති පුහුණු වීම් එක්ක කෙනෙකුට එකතුවෙන බරට සහ ඉවට කැමරාවත් ආස කරන බව දැන ගෙන හිටපු නළුවෙක්; එක අතකින් වෘත්තීය නළුවෙක් හරි නිළියෙක් හරි වෙන අතර ම, ඉරානයේ හරි තුර්කියේ හරි ඉන්න ආධුනික නළු නිළියෝ තරම් ම ජීවිතයට බැහැලා කැමරාව අමතක කරන්න පුළුවන් තරම් නොසැලකිල්ලක් හදාගන්න අපිට තිබුණ එකම කෘතිම තැන වේදිකාව කියලා ඉවෙන් වගේ දැනගෙන හිටපු කෙනෙක්.


සිංහල සිනමාවේ සාමාන්‍ය ආදර කතාවට කොස්තා ඕනැ වුණේ එක්කො කරදරයක් හැටියට; නැත්නම් උදව් කාරයෙක් හැටියට. ගීත, සටන්, කෙල්ල, කොල්ලා බලන්න සිනමාහල්වලට ගිය අයට කොල්ලාගේ වීරකමත්, දුෂ්ටයගේ දුෂ්ටකමත් ඉහළ ගියේ කොස්තා දුෂ්ටයා හරි වීරයා හරි ඉස්සරහ අසරණ වූ තරමට; කොස්තාගේ නොමනා විහිළු, පෙරේත බැල්ම එක්ක සසඳන කොට චිත්‍රපටියේ කොල්ලා චිත්‍රපටියේ කෙල්ලට කොච්චර ගැලපෙනවද කියලා පෙන්නන්න පුළුවන් වූ තරමට. ඒ කාලේ සිනමාවට අසිරිමත් ප්‍රතිරූප හදන්න රඟපෑම අවශ්‍යම දෙයක් නෙමෙයි. සිනමාවයි රසිකයොයි අතර සැබෑ ගණුදෙනුව වෙන්නේ කතාව නිසාවත්, නළු නිළියන්ගේ දක්ෂකම් නිසාවත්, පාවිච්චි කරන තාක්ෂණය නිසාවත් නෙමෙයි. අඳුරු ශාලාවේ තිරය උඩ හැදෙන විස්මිත ලෝකය, මීවිත, සංගීතය, දුවන පනින නටන දඟලන සරාගී බව, දුමෙන්, හුස්මෙන් පිරුණු සිනමාශාලා ඇතුළේ විලවුන් සුවඳ, රාත්‍රී දර්ශන, දැවැන්ත ප්‍රචාරක පුවරු, සිනමා පත්තර, දුරින් පෙනුනු නළු නිළි ජීවිතවල ඕපාදූප: මේ හැම දේ ම එකට කැලතිලා හැමෝගෙම හිත් ඇතුළේ හැංගිලා තිබුණු අනුරාගී මායාකාරී කලාපය වහගෙන තිබුණේ සිනමාවෙන් නිසා. රඟපෑම මත ම නො රැඳෙන ඒ මායාකාරී කලාපයේ පවා එක්තරා උප කලාපයක් අල්ල ගන්න පුළුවන් අමුතුම අනුහසක් තිබුණු දුලබ නළුවෙක් කොස්තා. 


ඒත් මේ මායාකාරී කලාපය වෙන වෙන දේවල් එක්ක හුවමාරුවෙලා විකිණිලා යන කොට, ඒක තේරුම් ගන්න බැරි වුණු, ඒකට ලෑස්ති වෙලා නොහිටපු, සාමාන්‍ය මිනිහෙක් විදිහට පාරට බහින්න වෙච්ච මිනිහෙක් කොස්තා. අවාසනාවකට ප්‍රතිරූප කඩාගෙන වැටුණට පස්සේ කොස්තට විකුණන්න තිබුණු අතීතයටවත්, වටිනාකම්වලටවත් අලුත් තත්ව යටතේ හොඳ මිලක් නියම වෙලා තිබුණේ නැහැ; මිල ඇති තැන්වලට හැඩ ගැහෙන්න ඕනැ ඉවවත්, කපටිකමවත් කොස්තට තිබුණෙත් නැහැ. ඒ විදිහට හැඩ ගැහුණු අයට කොස්තාගේ මීවිතෙන් බොඳ වුණු අතරමං වුණු ජීවිතේ කරදරයක් හරි, අතීතයේ අවතාරයක් හරි විදිහට පෙනීම පුදුමයකුත් නෙමෙයි. තමන්ගෙ කතාව හැම තිස්සෙ ම අමතක වුණත්, අනුන්ගේ කතාව ලොකුවට හදලා දෙන්න චිත්‍රපටි ඇතුළෙදිත්, එළියෙදිත්, කොස්තා හැම තිස්සෙ ම සූදානම් වෙලා හිටියා. ජීවිත කාලෙම සිනමාවේ, වේදිකාවේ, සැරිසැරුවත්, නළු නිළි ජීවිතවල අතීත අඳුරු අහු මුළුවල එකට ගලා ගෙන ගිය කොටසක් වුණත්, ඒ හැමදේකම, හැම කෙනෙකුගෙම, හොඳ පැත්තක් මිසක් නරකක් ඔහුට කවදාවත් පෙනුණේ නැහැ. විකුණන්න පුළුවන් කැත ඕප දූප, නළු නිළි රහස් අහ ගන්න ඔහු වටේට රැස් වුණ අයට කවදාවත් ඕනැ කරන උත්තර හම්බ වුණෙත් නැහැ. ජීවිතේ හැම තැනකදිම ඔහුට හම්බ වෙලා තිබුණේ ‘විශිෂ්ට’, ‘ශ්‍රේෂ්ඨ’, ‘උදාර’, ‘උතුම්’, ‘අමරණීය’, ‘හිතහොඳ’ අය විතරයි. ඔහුගේ සහෘදයෝ වෙනුවෙනුත්, ජීවිතේ මුණ ගැහුණු ඕනැ කෙනෙක් වෙනුවෙනුත් ඔහු ඕනැම වෙලාවක සූදානමෙන් හිටියත්, ඒ අයට හරියටම අවශ්‍ය දේවල් කොස්තා ලඟ කවදාවත් තිබුණේ නැහැ. ඒ නිසා කොස්තාට වුණේ ඔහු නිතරම කියන විදිහට ‘ගොඩෝ එනකං බලා ඉන්න’. හැබැයි මේ බලා ඉඳීමේ ලොකු වෙනසක් තිබුණා. කොස්තා ගොඩෝ එනකං බලා හිටියේ හරිම සතුටින්. කිසිම අඳෝනාවක් දොස් පැවරීමක් නැතුව; ලොකු හිනාවකින්.


ඉතින් කොස්තා ඔයා අපි වෙනුවෙන් දිගටම ගොඩෝ එනකං බලා ඉන්න...

ස්තූතියි!

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...