අමරදේව සහ ගායකයා...


අමරදේව නම් ගායකයා සහ සමාජ පෞරුෂය අතර බෙදුම බොහෝ දෙනෙක් අමතක කරන ඒත් ඉතා ම වැදගත් කලාපයක්. ඒ කලාපය ලංකාවේ සංස්කෘතිමය දේශපාලනය එක්ක අවියෝජනීයව බැඳිලයි තියෙන්නේ. ඇලබට් පෙරේරා කියන්නේ පුද්ගලයෙක් විදිහට ඉතා ම නිහතමානී, හැමෝම සතුටු කිරීමට කැමති, අහිංසක සරල පුද්ගලයෙක්. නමුත් ආවේණික විරල හඬ, වාදන හැකියාව, කැපවීම සහ සංගීත ප්‍රතිභාව ඔහුව ඉස්මතු කරනවා. අමරදේව චරිතාපදානයට අනුව ඉන්දියාවේ සංගීත අධ්‍යයනය සඳහා ඔහුට දෙන අනුග්‍රහය කළමණාකරණය කරන්නේ යම් ප්‍රභූ බලයක් ඇති පිරිසක්. ඔහු නැවත පැමිණීමෙන් පසු ගත යුතු මග සහ ඔහුගේ සේවය අවශ්‍ය දිශාව තීරණය වුණේ රටේ දේශපාලන අධිකාරියේ සංස්කෘතික න්‍යාය පත්‍රය අනුව. වෘත්තීය ජීවිතයේ මුල් කාලෙදි ම වගේ මේ රටේ මතු වුණු දේශීය අන්‍යයතාව පිළිබඳ දේශපාලන ව්‍යාපාරය විසින් ඔහුව ඩැහැගෙන 'අමරදේව' නමින් එහි මූලික සංකේතයක් බවට පත් කර ගන්නවා. ඒ වෙනකොට යම් යම් සංගීතවේදීන් නැඹුරුව සිටි විසිරැණු සංගීත සම්ප්‍රදායන්ගේ බලපෑමෙන් ලාංකේය සංගීතය මුදවන්නත්, ඉන්දියාවේ ජාතික ව්‍යාපාරයට සමාන්තර දේශීයකරණයක් සංගීතයෙන් මතු කරන්නත් ඔහු ඇතුළු පිරිසට අනුබල ලැබෙනවා. 


සංගීතය ගැන අමරදේව කියන සංගීතඥයාගේ මතය නිවහල් සහ විවෘත එකක් වුණත්, ඔහුව පෙරටු කර ගත් බලවේගය පටු අරමුණු සහිත එකක් බවයි පේන්නේ. නිදසුනක් විදිහට නොයෙක් සංස්කෘතික තන්තු එක්ක ගෙතිය යුතු සංගීතය මේ යුගයේ දී එක් අධිකාරී ධාරාවකට යට කරනවා; ඒ අධිකාරී ධාරාව සංගීතය සහ සංස්කෘතිය භාෂාව එක්ක වෙන් කළ නො හැකි විදිහට ගැට ගහනවා. මේ සංස්කෘතික බලවේගය ජාතීන් අතර සහජීවනයට වගේ ම දේශීය සංස්කෘතියේ මැදහත් බව අසමතුලිත කරනවා; ඒ නිසා පසු කාලෙක දී මේ බලඅධිකාරිය බිඳ වැටෙන්නේ අන්තවාදී විදිහට කෙරෙන සංස්කෘතික ආක්‍රමණයක් විදිහට. දිගු කාලීනව බැලුවහම ඒකමානී සහ දුර්වල චින්තන ධාරාවක් ඇතුළේ අපිව හිර කරපු මෑත අතීතය ගොඩ නගන්න මේ සංස්කෘතික ධාරාව තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරනවා. මේ බලවේගයේ පෙරමුණ නියෝජනය වෙනුවෙන් වරින් වර අමරදේව කියන නිල සංකේතයට රාජ්‍ය අනුගහය සහ තමන්ගේ ක්ෂේත්‍රයේ බල ආධිපත්‍යයත් හිමි වෙනවා. අමරදේව කියන මහා පෞරුෂය ගොඩ නැගෙන්නේ මේ වටා මිසක් ඔහුගේ ගායන අසිරිය මත ම නෙමෙයි. ඇත්තට ම ඔහු මේ ධාරාවේ එළියට පේන සංකේතය වුණත් ගුණ ගායනයෙන්, නොයෙක් සම්මානයෙන්, විචාරයෙන් සහ සමහරවිට බල කිරීමෙන් පවා ඔහුගේ ගමන මෙහෙයවුණේ ඔහුට අනුග්‍රහය දැක්වූ ප්‍රභූ පන්තියේ හස්තයෙන්; මේ වැඩපිළිවෙලට මාධ්‍ය සහ වෙනත් පරිවාරකයින් දුන් දායකත්වය සහ අමරදේවගේ අනුකූලතාවය පර්යේෂණයකින් ම පමණක් මතු කළ යුතු ඇත්තක්. නමුත් ඔහුගේ ආරක්ෂාව, පැවැත්ම සහ අධිපත්‍යය රැකෙන ගමන් මග වැටී තියෙන්නේ මේ ඔස්සේ බව ඔහුගේ පවුලේ සමීපතමයන් සහ හිතමිතුරන් නිතර ම දැනගෙන හිටියා. ඔහුට පරම නිදහස තිබුණා නම් සමහරවිට ඔහු මීවිත, ගී පොත, සහ දිවා රෑ නොබලන හිත මිතුරු ඇසුර මේ හැම දේකට ම වැඩියෙන් අගය කරන රසවතෙක්; සම්මත මිම්මට අනුව ජීවිතය අවුල් ජාලාවක් කර ගැනීමට පවා නැඹුරු විය හැකි සරල චරිතයක්; ඒ නිසා පුද්ගලික චරිතය පැත්තෙන් මේ අනුග්‍රහයත්, සමීපතයින් විසින් ඔහු මත බල පැවැත්වූ ආධිපත්‍යයත් එක්තරා ආරක්ෂාවක් විදිහට හිතන්නත් පුළුවන්. මේ පසුබිම ආත්මීය ඛේදවාචකයක්ද ආශිර්වාදයක්ද කියල තීරණය කරන්න කාටවත් බැහැ; හැබැයි සමාජීය සහ දේශපාලනික වශයෙන් මේක දිගින් දිගට ම වෙන මග හැරිය නො හැකි ශෝකාන්තයක්.


නිදහස් වෙළඳපොළට අපි විවෘත වුණාට පස්සේ අමරදේව සහ ඔහුගේ සංගීතයෙන් නියෝජනය වුණේ දේශීයත්වය පිළිබඳ අභියෝගයට ලක් වූ අතීතකාමය; මිල මුදල් සම්පත් පැත්තෙන් සහ නිල බලයෙන් පහළට වැටුණු අමරදේව ආරක්ෂා කිරීම හැටියට පෙනුණේ දේශීයත්වය සහ අපේකම ආරක්ෂා කිරීම. ඊට පස්සේ පත් වූ හැම රජයක් ම, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ තමන්ගේ පරස්පර වැඩ පිළිවෙළ සමතුලනය කරන්න අඩු නැතුව මීට හවුල් වුණා; අනුග්‍රාහකයින්ගේ පෙළඹවීමෙන් අමරදේව පුනරුදයක් උදා වුණා; නොයෙක් අන්තර්ජාතික සම්මාන ගලා ගෙන ආවා. අමරදේව කියන පෞරුෂයේ දෙවෙනි අවධිය ගොඩ නැගෙන්නේ එහෙමයි. මේ පසුබිම එක්ක අමරදේව කියන පෞරුෂයෙන් වෙනත් දේශපාලන මැදිහත්වීමක්, යුතුකමක් හෝ විකල්පය නියෝජනයක් බලාපොරොත්තුවෙන එක එක්තරා උභතෝකෝටිකයක්. මේ පෞරුෂය ගොඩ නංවා තියෙන්නෙ ම අධිපති සංස්කෘතික ධාරාව එක්ක; විකල්පය ගොඩ නැගීම කියන්නෙ ම මේ පෞරුෂය බිඳ දැමීම; ඊට පිටුපෑම. ඒ විදිහට බැලුවහම , ඔහුගේ ගායනයේ අසමාන සෞන්දර්යය කියන්නේ අමරදේව කියන සංස්කෘතික පෞරුෂය දවටා ඇති ආරක්ෂක වැස්මක්.


ගායකයෙක් විදිහට අමරදේව මුද්‍රාව සහ විලාසය−පසු කාලීන විපරීතතා නොතකා−අසමසම යි; එය තහවුරු වී අවසාන යි. නමුත් සමාජ සංස්කෘතික ව්‍යාපාරයේ මුදුන් ගත කිරීම සහ එහි සිරවීම ඇතුළේ අසිරිමත් ගායකයෙක් හැටියට අමරදේව විසින් අපට ප්‍රදානය කළ හැකිව තිබූ සියළු ම දේ දීමට ඔහුට බැරි වුණා වෙන්නත් පුළුවන්. ඔහු ගායකයෙක් විදිහට සජීවීව සිටි යුගයේ දී ඔහුගේ ගායනා ගුණයේ විස්මිත පරාසය වැඩි වැඩියෙන් ඉස්මතු වුණේ ලයනල් අල්ගම, සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, වික්ටර් රත්නායක, නිමල් මෙන්ඩිස්, රෝහණ වීරසිංහ සහ විශේෂයෙන් ම ප්‍රේමසිරි කේමදාසගේ මුසු වීම සහ හැසිරවීමත් එක්ක. පාලනය කළ දිව්‍යමය ඉහළ ස්වර, නිවුණු තෙමුණු පරිණත හඬ ගුණය, රිද්මස්ථාන එකක් දෙකක් නිරායාසයෙන් එහා මෙහා කිරීම, හඬෙහි ගැලීම තමන්ට ම ආවේණික විදිහට බිඳ දැමීම සහ වර්ණ ගැන්වීම අමරදේව ගායන විලාසයේ සුවිශේෂතා. ඔහුගේ ගායනයෙන් වහ වැටෙන අපි, අමරදේව කියන අහිංසක සහෘදයාට ආදරය කරන අපි, නිතර ම ඒ ගායකයා සහ අමරදේව කියන අද්භූත පෞරුෂය පටලවා ගන්නවා. මේ පරස්පර පෞරුෂයයි අමරදේවගේ ගායන අසිරියයි අතර සැබෑ බැඳීම ඉතිහාසය නොතකා ගොඩ නැගෙන එක්තරා මායාවක්. ඒ මායාව තේරුම් ගැනීම අමරදේවට හිතන්නවත් බැරි දෙයක්. සමහරවිට කාලයත් එක්ක මේ දෙපැත්ත වෙන් වෙන් ව ගෙන තක්සේරු කරන්නත්, ආයෙත් ගොඩ නොනැගෙන මේ දැවැන්ත රැස්මාලා පිටිපස්සේ හැංගිලා හිටිය අහිංසක මිනිස්සු අගය කරන්නත් අපිට බැරි වෙන එකක් නැහැ...

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...