රැළි මත පාවෙන කැප්ටන්ලා සහ ටින්ටින්ලා...


හම්බන්තොට වරායේ සිදුවීම සමග නාවික හමුදාපතිවරයාගේ සහ මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය පිළිබඳ නොයෙක් සංවාද ඇති වුණා. මාධ්‍යවේදය, සමාජ වටිනාකම් සහ අද කාලයේ සමාජ ප්‍රවණතා පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න කීපයක් මේ සිදුවීම එක්ක ඉදිරියට ආවා.


නූතන පසුබිම යටතේ මාධ්‍යවේදය වැනි ක්ෂේත්‍රයක් ප්‍රශ්න කිරීම කළ යුත්තේ සියළු තත්ව සලකා බලන සංකීර්ණ පදනමක සිට පමණයි. අද මාධ්‍යවේදය කියන්නේ විසුරුණු පරාසයක, විසුරුණු අරමුණු වෙනුවෙන් කෙරෙන සංකීර්ණ ක්‍රියාදාම පද්ධතියක්. මාධ්‍ය හා බැඳුනු ප්‍රසිද්ධිය කියන්නේ බලයට, ආරක්ෂාවට, පැවැත්මට මගක්. යම් අදහසක් වෙනුවෙන් හැකි ඉක්මනින් අනුගාහකත්වය සංවිධානය කිරීමටයි අද මාධ්‍ය මූලික වශයෙන් භාවිතා වෙන්නේ. කෙනෙකුට අවශ්‍ය අරමුණක් අනුව තොරතුරු සොයා ගැනීමට හෝ තෝරා ගැනීමට ඕනැ තරම් මාධ්‍ය ඇති අතර ම, තොරතුරු සකස් කෙරෙන්නේ සුවිශේෂ අරමුණු වෙනුවෙන් පමණ යි. ‘මාධ්‍යකරණය යනු තොරතුරු සන්නිවේදනයයි’ වැනි අහිංසක අදහස් දැන් යල් පැන ගොස් බොහෝ කල්. 


ඒ අනුව මාධ්‍යවේදය යනු තව දුරටත් දුරින් සිට හෝ මධ්‍යස්ථව සිට හෝ වාර්තා කිරීමක් වෙන්නේ නැහැ; එය සිදුවීමක අඛණ්ඩ කොටසක්. සිදුවීමකට සජීවීව හවුල් වීමෙන්, අදාළ පාර්ශව උත්තේජනය කිරීමෙන් හෝ කුපිත කිරීමෙන් හෝ පුවත් මැවීම අද මාධ්‍යවේදයේ මූලික ලක්ෂණයක්. අපි කැමති වුණත් නැතත්, ආරක්ෂක කැමරාවක්, ජංගම දුරකථනයක් නැත්නම් කැමරාවක් අතේ ඇති ඕනෑම මට්ටමක කෙනෙක්, ඕනෑම අරමුණක් වෙනුවෙන්, ඕනෑම මොහොතක දි මාධ්‍යවේදියෙක් බවට පත් විය හැකියි. ඕනෑම කෙනෙකුගේ සෙල්ෆි ඡායාරූපයේ සිට, එදිනෙදා ජීවිතයේ ඉතාම නොවැදගත් සිදුවීමක් කිසියම් ප්‍රේක්ෂකාගාරයකට ඉතාම උණුසුම් පුවතක් විය හැකි යි. (නිදසුනක් හැටියට යුරේනි නොෂිකා තම හිසට බිත්තර සුදු මද දැමූ ෆේස්බුක් පුවතට විසි දෙදාහක් කැමැත්ත සහ ප්‍රතිචාර දක්වා තිබෙන අතර, දෙදාහකට වැඩි පිරිසක් ඒ ගැන මත පළ කර තිබෙනවා; ඒ පුවත තුන්සීයක් පමණ දෙනා බෙදා හදා ගෙනත් තිබෙනවා.) ඒ වගේ ම ඕනෑම සිදුවීමක දි ඊට සම්බන්ධ හෝ අදාළ නැති කෙනෙක් සැනින් මාධ්‍යවේදියෙක් බවට පරිවර්තනය විය හැකියි. ඒ වගේම ඒ සේවය ඔවුන් කිසිදිනක නොදන්නා අරමුණක් වෙනුවෙන්, කිසි දිනක හඳුනා නොගත් ස්වාමියෙකුට අයිති කර ගත හැකි යි. 


අද කාලයේ බොහෝ සිදුවීම්වල ස්වාභාවය සහ හැසිරීම මේ ඕපපාතික මාධ්‍යවේදයට සරිලන විදිහට හැඩ ගැසීමත් දකින්න පුළුවන්. සමාජ සේවා සත්කාර, දේශපාලන ජවනිකා පමණක් නොව සාමාන්‍ය ජීවිතයේ බොහෝ දේ සංවිධානය වෙන්නෙත් ප්‍රසිද්ධිය, අනුග්‍රාහකත්වය සහ බලය වෙනුවෙන්. පාර්ලිමේන්තුව පවා හැසිරීම පාලනය වෙනුවෙන් ජනමාධ්‍ය වෙත විවෘත කෙරුණු බව කීවත්, අද පාර්ලිමේන්තුව ‘හැසිරෙන්නෙත්’ ජනමාධ්‍ය වෙනුවෙන්. සමහරවිට විවාහ මංගල උත්සවයකදීත් සියලු හැසිරීම් සංවිධානය වෙන්නේ මාධ්‍ය වෙනුවෙන්. පෞද්ගලික ජීවිතයේ ලිංගික ජවනිකා පවා අද එකිනෙකා පාලනය කරන තර්ජන, අපහාස, නින්දා හැටියට හෝ පොදු රසාස්වාදය සඳහා හෝ අන්තර්ජාලයට මුදා හැරෙනවා. ලිංගික සහකරුවා හෝ සහකාරිය පවා සීමිත හෝ අසීමිත ප්‍රේක්ෂකාගාරයකට මාධ්‍යවේදියෙක් හෝ මාධ්‍යවේදිනියක් විය හැකියි. අපි කැමති වුණත් නැතත්, මේ හැසිරීම් සම්ප්‍රදායික සදාචාරයේ සීමාවල් ඉක්මවා ගිහින් පෞද්ගලිකත්වයේ අපි දන්නා සීමා වෙනස් කරලා ඉවරයි. ක්‍රමය විසින් බල කරන ලද මේ තත්ව යටතේ, තව දුරටත් ජනමාධ්‍ය සම්ප්‍රදායික මාධ්‍ය සදාචාරය වැනි කෙවිටිවලින් පාලනය කළ හැකි යැයි සිතීම ඉතාම අපරිණත සිතුවිල්ලක්. වෘත්තීය මාධ්‍යවේදයේ සහ ආධුනික මාධ්‍යවේදයේ සීමා අද ක්‍රමයෙන් සහ වේගයෙන් බොඳ වී යනවා. යම් යම් අවස්ථාවලදී තීරණාත්මක තොරතුරු මතු වෙන්නේ ආධුනික මාධ්‍යවේදය මගින් පමණයි. සමහරවිට අනාගතයේ දී අපේ සදාචාරයේ නිර්ණායක වෙන්නෙත් මේ නොනවතින සමාජ සවේලනය හෝ පරීක්ෂාව. ඉදිරියට සෑම සංසිද්ධියක්ම පාලනය වෙනු ඇත්තේත් මේ සමාජ සවේලනයෙන් සහ මාධ්‍ය සංවාද මත ගොඩනැගෙන සාපේක්ෂ රාමු මත. ආචාර ධර්ම පිළිබඳ මොන මොන අදහස් දැරුවත්, තීරණාත්මක මොහොතක දී අපි හැමෝම මාධ්‍යවේදීන් හැටියට මේ පද්ධතිය ඇතුළේ කැරකෙන දැති රෝද බවට පත් වීමට නියමිත යි.

ඒ වගේ පසුබිමක දී තමයි හම්බන්තොට සිදුවීම එළියට එන්නේ. මෙතනදි මාධ්‍යවේදියා විසින් නාවික හමුදාපති හඳුනා නොගැනීම, නිසි මොහොතේ දී සිද්ධියෙන් ඉවත් නොවීම ආදිය විවේචනයට ලක් වුණා. පළමුවෙන්ම නාවික නිලධාරියෙක් නිල ඇඳුම රහිතව අහුඹු ලෙස හඳුනාගැනීම කොහෙත්ම පහසු නැහැ. නිල ඇඳුම හෝ පදවියට උචිත හැසිරීම ආදිය එවැනි හඳුනා ගැනීමකට උපකාරී වුණත්, ඒ දෙඅංශයෙන් ම මෙතනදි හමුදාපතිවරයාටත් තමා හඳුනාගැනීමට අමතක වූ බව පැහැදිලි යි. නාවික හමුදාපතිවරයාටවත් අදාළ නැති එවැනි හඳුනා ගැනීම් සමාජයටත් එතරම් වැදගත් වීමට හේතුවක් නැහැ. අපි කැමති වුණත් නැතත්, නිලධාරියෙක් හඳුනාගෙන සිටීම තබා භාෂාවක් දැනගෙන සිටීමවත් තව දුරටත් මාධ්‍යවේදය සඳහා අත්‍යවශ්‍ය නැති බව තමයි පේන්නේ. ඒ වගේ ම අදාළ මාධ්‍යවේදියා නාවික හමුදාපති නොහැඳිනීම, ඔහු එතනින් ඉවත් නොවීම යන කාරණාම තමයි නාවික හමුදාපතිවරයාගේ හැසිරීම සහ ආකල්පවල සැබෑ ස්වරූපය හෙළිදරව් කර ගැනීමට හේතු වෙන්නේ. එසේ නොවුණා නම් නාවික හමුදාපතිවරයාගේ හැසිරීම පරීක්ෂාවට ලක් වන්නේ නැහැ. සමාජයේ යම් යම් සැඟවුණු සංකීර්ණ පැති නූතන මාධ්‍යවේදය මගින් නිරාවරණය කරන අවිඥානික ක්‍රමවේද නීති රීති මගින් පාලනය කිරීම සංකීර්ණ ගැටලුවක් බවට පත් වෙන්නේ ඒ නිසයි. 

සෑම ආචාර ධර්මයක්ම, හැසිරීමක්ම විපරීතතා පෙන්වන විට මාධ්‍යවේදයත් එහි අඛණ්ඩ කොටසක් හැටියට නව තත්වවලට හැඩ ගැසීම නොවැළැක්විය හැකි දෙයක්. අද සෑම සමාජ ආචාර ධර්මයක්ම, වගකීමක් ම, සෑම මට්ටමකින් ම, සෑම වෘත්තියකදීම වගේ එළි පිටම කඩා බිඳ දමනවා. සමාජය ඒ පිළිබඳ බරපතල තැකීමක් කරන්නේ නැහැ. ඒ වගේ ම විවිධ වෘත්තීන්වල සම්ප්‍රදායික ගෞරවණීයභාවයේ ක්‍රමික කෙළසීමත් සමග නිලධාරියෙක් හෝ වගකිවයුත්තෙක් හැසිරිය හැකි ආකාරය ගැන පවා අපිට පෙර අනුමාන කළ නොහැකි යි. මේ තත්වය යටතේ මාධ්‍යවේදය පමණක් පැරණි සම්ප්‍රදායික ආචාර ධර්ම මත තව දුරටත් රඳා පවතී යැයි සිතීම දුර්වල උපකල්පනයක්. මාධ්‍ය කියන්නේ බලයට, ආරක්ෂාවට, පැවැත්මට මගක් නම්, සමස්තයට දෙන විසඳුමක් නොවෙන මාධ්‍ය පාලනයට එන ඕනෑම තනි උත්සාහයක්, යම් පටු අරමුණක් වෙනුවෙන් කෙරෙන මර්ධනයක් විතරයි.


ඒ වගේ ම මේ සිදුවීම යටින් තිබෙන වැදගත්ම දේ හම්බන්තොට වරාය චීන රජයට පැවරීම, ඊට එරෙහි වර්ජනය, එහි පසුබිම ගැන සංවාදය මේ සිදුවීම නිසා සම්පූර්ණයෙන් ම යටපත් වී යාමයි. සමස්තයක් හැටියට අද විරෝධය, අරගල හෝ සංවාද කියන්නේ ඕනෑම දිශාවකට සැනින් හැරවිය හැකි තවත් එක රැල්ලක් පමණයි. කිසිම රැල්ලක් එක දිශාවකට හමන ලොකු කුණාටුවකට පෙරළෙන්නේවත්, වෙරළක් දක්වා නොකැඩී ගමන් කරන බවක්වත් පේන්නේ නැහැ. එහෙම වැඩෙන ලොකු රැළි සමනය කිරීමට, ඕනෑම කෙනෙකුට තාක්ෂණයෙන් බල ගැන්වුණු මාධ්‍ය මගින් කුඩා රැළි ඕනෑ තරම් මතු කළ හැකියි. මේ සුළු සුළු රැළි මත ඒ ඒ අතට පාවීමෙන් පමණයි අද සමාජයට පවතින්න පුළුවන්. දැනට මේ රැළි යන එන දිශාවන් නොතකා, ඒවා මත පාවෙන සෙල්ලම අපිට ලොකුම ලොකු විනෝදයක් වී ඇති බව නම් හොඳට ම පැහැදිලි යි.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...