පළාත්, අනන්‍යතාවය, දේශප්‍රේමය සහ...


තමන්ගේ පළාත වෙනුවෙන් සමාජ ජාල ප්‍රචාරණ දියත් කිරීම බැලු බැල්මට නම් සෙල්ලමක්. නමුත් තමන්ගේ පළාත එක්ක යටි හිතේ තියෙන බැඳීම සමහරවිට සෙල්ලමක් ම නොවෙන බව මේ හුවමාරු වෙන අදහස් එක්ක පේනවා. පිටස්තරයෙක් තමන්ගේ පළාත හෙළා දකින කොට, අපවාද නගන කොට සමහර අයගේ ලේ උණුවෙනවා. ඒත් මේ ව්‍යාපෘතිය සහ ඒ ගැන ඇවිළෙන සංවාද ‘අනන්‍යතාවය’ සහ ‘දේශප්‍රේමය’ කියන සංකල්ප ගැන ආයෙත් හිතන්න හොඳ අවස්ථාවක්. ඒ අර්ථයෙන් මේ තරගය ඇත්තට ම සුපිරි යි.



දේශය කියන මායිම, ගෙදර, වත්ත, ගම, නගරය, පළාත, රට, පෘතුවිය වගේ ම විශ්වය දක්වා වුණත් පුළුල් වෙන්න පුළුවන්. තමන්ගේ වත්ත, ගම විතරක් දන්න කෙනෙක් ඒකට ආදරය කරන එක සාධාරණයි; කෙනෙකුගෙ ළමා කාලය එක ම පළාතක ගෙවුණොත් මේක නොවැළැක්විය හැකි සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ආදරය ඇත්තට ම බැඳෙන්නේ ගමේ පොළවට ම නෙමෙයි; ඒ එක්ක බැඳි මතකයට. මේ තමන් ගැන ගොඩ නැගෙන මතකය තමයි අපි අනන්‍යතාවය එහෙම නැත්නම් ‘මම’ හැටියට වටහා ගන්නේ. ඒ වගේ ම ගම එක්ක නරක අත්දැකීම් තියෙන සමහර අය, ගම එපා වෙලා, ගම පැත්ත පළාතේ යන්නෙ නැතුව ඉන්නවා; එතකොට ඒ අය තමන්ගේ අනන්‍යතාවය හදාගන්නේ ‘ගම’ අත ඇරලා. නමුත් මේ සීමා පුළුල් වෙලා ගම, නගරය, රට දක්වා දැන ගත්තට පස්සෙත්, කෙනෙක් ගමට 'විතරක්' ආදරය කළොත්, ගම වෙනුවෙන් මැරෙන්න සූදානම් වුණොත්, ඒක අතීතකාමයක් වගේ ම, හාස්‍යජනක පටු දැක්මක් විතරයි. 



දේශප්‍රේමය රට එක්ක සම්බන්ධ කරලා හිතන කොට, ගමත් එක්ක එන අදහසට වඩා ඒ අදහස වියුක්තයි, දුරයි. තමන්ගේ අනන්‍යතාවය කියන්නේ රට නම්, රට කියන්නේ මොකක්ද කියන තැනට එක එක දේවල් ආදේශ කරන්න පහසු යි. පොළව, පරිසරය, ස්වභාවික සුන්දරත්වය වගේ අපේ ම ස්වාධීන අත්දැකීම් වෙනුවට සාමාන්‍යයෙන් එතනට දාලා තියෙන්නේ ජාතිය, ආගම වගේ වියුක්ත අදහස්; අපිට ඇත්තට ම දැනෙන දේවල් වෙනුවට, සමාජයක් හැටියට බෝවෙන, බෝකරන අනන්‍යතාවය ගැන සංකල්ප; අලුත් සංකල්ප හැදීම වෙනුවට හදපු සංකල්ප ඇතුළේ සංවිධානය වීම. කෙනෙක් කණ්නාඩියෙන් තමන්ව අඳුරගන්නවා වගේ තමන්ගේ පුළුල් අනන්‍යතාවය හදා ගන්නේ තමන්ගේ වටපිටාවෙන්; සමාජයෙන්. මේ බාහිර අනන්‍යතාවය ඇතුළට ගැනීම සමාජයක ජීවත් වීමට පහසු විදිහක්. නමුත් වඩා පුළුල් පරාසයක සිට බැලුවොත් මේ සමාජ වටිනාකම් එක්ක ගොඩ නැගෙන අනන්‍යතාවය කණගාටුදායක හිර මැදිරියක්. 



යටත් විජිත යුගයේ දී දේශීය අය බටහිර නම් ගැනීම වගේ ම, නැඹුරුව වෙනස් වෙන කොට, දේශීය නම් ගැනීමෙන් පවා තමන්ව අලුතෙන් හඳුන්වා ගැනීම් වෙන්නේත් බාහිරින් ඇතුළට කඩා ගෙන එන අනන්‍යතාවය නිසා. අපේ අනන්‍යතාවය කියන්නේ ජාතිය, ආගම විදිහට වටහා ගත්ත ම, ඇත්තට හෝ බොරුවට ඒ සංකල්ප අභියෝගයට ලක්වෙන බව පෙන්වන හැම මොහොතක දි ම කෙනෙකුට හිතෙන්නේ ‘මම’ හෝ ‘අපි’ ඉවරයි කියලා. කෙනෙක් වියුක්ත සංකල්ප එක්ක බැඳෙන කොට, ඒ සංකල්ප ස්ථාවර කරන්න, ඒ සංකල්පවලින් වැඩ ගන්න, ඒ සමාජ කාණ්ඩ හසුරුවන්න, ඕනැ කෙනෙකුට පහසුවෙන් පුළුවන්; ඒ සඳහා හොඳ ම විදිහ මේ අනන්‍යතා සංකල්ප ඉලක්ක කර ගෙන එල්ල කරන සංකල්පමය ප්‍රහාර. නමුත් දැක්ම පුළුල් වෙන කොට, පරිණත වෙනකොට, අනන්‍යතාවය ගැන කෙනෙකුගේ සීමා මායිම්, ගම, පාසල, රට, ජාතිය, හෝ ආගමෙන් එහාට පැතිරෙන එක වළක්වන්න බැහැ. එතකොට ඒ සංකල්ප එක්ක පටු විදිහට බැඳෙන එක, ඒ වෙනුවෙන් දිවි පරදුවට තියන එක ගම කියන සංකල්පය වෙනුවෙන් මැරෙන්න යනවා වගේ හාස්‍යජනක වැඩක් විතරයි.



සමස්තයක් හැටියට අපේ දැක්ම පුළුල් වීමත් එක්ක අපේ අනන්‍යතා රාමු පවතින පටු සීමාවලින් හැකි තරම් ඈතට ඈතට තල්ලු කර දැමීම ඉතා ම වැදගත්. නැත්නම්, පළාත් අතර තරගයෙන් පේන විදිහට ම, කෙනෙකුගේ අනන්‍යතාවය ඉතා ම සුළු සංකල්පයක් දක්වා කුඩා කරන්න, ඒ වටේ සංවිධානය කරන්න යන්නේ සුළු මොහොතයි...

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...