නලින් ද සිල්වා සහ උභතෝකෝටිකය


ලෝකෙ ඇත්තට ම වෙන දේවල් අපේ එදිනෙදා අනුමාන එක්ක මෙච්චර ගැටෙන කාලයක් අපිට මතක නැහැ. එංගලන්තය යුරෝපයත් එක්ක ඉ න්නවද, ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයිද නැද්ද වගේ කිසි ම දෙයක් පිළිගත් අධිකාරිවලට නිවැරදිව අනුමාන කරන්න බැරි වුණා; ඕනැ ම නම් ලංකාවේ වගේ හිතා මතා ම වැරදියට අනුමාන කළා කියලා කියන්නත් පුළුවන්; එහෙම නැත්නම් ඒක වුණාට පස්සේ මේ වගේ පශ්චාත් විශ්ලේෂණ දෙන්නත් පුළුවන්. මතුපිටින් බැලුවොත් අසම්ප්‍රදායික ලිංගික අයිතිය, කාන්තා නියෝජනය, පුද්ගලිකත්වය, සමාජ සහජීවනය, නිදහස් දැණුම, අතාර්කිකත්වය ආදියට ඉඩ හදන බටහිර චින්තනය සංක්‍රමණිකයො ඉස්සරහ එක පාරට ම වෙනස් වුණා; ගල් ගැහුණා; ද්‍රෝහි වුණා. සුදු අධිරාජ්‍යයක කළු ජාතිකයෙක් නායකත්වයට පත් කර ගන්න තරම් ප්‍රගතිශීලී වුණහම ආපසු හැරීමක් නැහැයි කියලා හිතපු අයගේ සිහින බටහිර ඡන්ද ප්‍රතිපල කඩා ඉහිරවලා දැම්මා. ඉදිරියේ දී එක්සත් ජනපදයේ සිදු වීමට නියමිත දේශපාලනික සහ ආර්ථික වෙනස්කම්වලට ගැලපෙන නායකත්වයක් ඒ අය ඉතා ම සූක්ෂමව තෝරා ගත්තා. එහෙම බලන කොට ඈතට ඈතට තල්ලු කරල දාපු ජාතිකත්වයේ හෝ පසුගාමීත්වයේ රැල්ල අවශ්‍ය වෙලාවට සුනාමියක් බවට පත්වෙලා ආපහු එනවා වගෙයි පේන්නේ.


අපේ රට ඇතුළෙත් මෑත කාලේ වෙනස් වීම් ගොඩක් වුණා. කොකා කෝලා, බී එම් ඩබ්ලිව්, ඇපල්, සැම්සුන්ග්, නයිකි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, වාලම්පුරි, ෆෙන්ෂුයි, ජෝතිෂ්‍යය, කෙම් ක්‍රම, මන්තර ගුරුකම්, බොදු බල සේනා, තව්හීඩ් ජමාත් ඔක්කොම එක ම අවකාශයකට ඇතුල් වුණා. ඒවා අතර වෙනස් කම් මැකිලා ගිහින් එක්සත් වෙනවා වෙනුවට ඒ හැම එකක් ම තමන්ගේ අනන්‍යතාවයට කිසිම හානියක් නැතුව එකම මොහොතේ තරහ කාරයෝ වගේ ම යාළුවොත් වුණා. ඒ වගේ ම ත්‍රිපිටකය, ප්‍රාග් ඉතිහාසය, කොන්ටම් භෞතික විද්‍යාව ගැන අර්ථ දැක්වීම් දෙන්න පුළුවන් විශේෂඥ පරිශීලකයෝ, ඉතිහාසඥයෝ, විද්‍යාඥයෝ සදහට ම අහෝසි වෙලා ගියා; උදාහරණයක් හැටියට දැන් ඕනැ වෙලාවක ජීවනී ඇන්ටියි නිෂාන් මල්ලියි අතර ෆේස් බුක් එකේ මේ වගේ මාතෘකාවක් ගැන දරුණු වාදයක් ඇවිලෙන්න පුළුවන්. එහෙම බලන කොට එක්කෝ අද කාලෙ දැණුම, විද්‍යාව සහ දර්ශනය පිළිගත් කේන්ද්‍රවලින් ගැලවිලා මුළුමනින් ම නිදහස් වෙලා; එහෙම නැත්නම් නූතන දැණුම කියලා අන්තර්ජාලයෙන් අපිට එන්නේ සම්පූර්ණ බොරුවක්.


මේ පසුබිම එක්ක ආචාර්ය (උගත්) නලින් ද සිල්වා සහ දෙරණ ටීවී කළ සංවාදය සරලව ගන්න එක කොහෙත් ම හොඳ දෙයක් නෙමෙයි; ඒත් ඒ ගැන බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාරය වුණේ සැහැල්ලු සහ උපහාසාත්මක නොසැලකිල්ලක්. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නම් නලින් ද සිල්වා රූපවාහිනියෙන් කතා කළේ කොහොමද? ගුවන්යානයෙන් එංගලන්තයට ගියේ කොහොමද වගේ තීක්ෂණ ප්‍රශ්නවලින් ඒක අවසාන අවසාන වුණා. අපි දන්න සාමාන්‍ය දැණුම එක්ක බලන කොට නම් නලින් ද සිල්වා පෙනී හිටින දැණුම අපභ්‍රංශයක්. නමුත් අද ලෝකෙ වෙන දේවල් තේරුම් ගන්න ඕනැ නම් මේ දැණුම තීරණාත්මක යි. ඒ වගේ ම හොඳට හිතල බැලුවොත් මේ වෙනතෙක් අතන මෙතන හැංගිලා තිබුණු අදහස් මේ තරම් පැහැදිලිව ඉවසීමෙන් ඉදිරිපත් කළ අවස්ථාවක් මෑත කාලේ තවත් නැහැ. බුද්ධිමතුන් එළි පිට කතා කරන්න අකමැති, සාහිත්‍යයෙන්, අලංකාරවලින්, ව්‍යාංගාර්ථවලින් වහලා දාපු ගොඩක් පෙරදිග රහස් බටහිර විද්‍යාවේ මූල ධර්මත් එක්ක පදම් වෙච්ච නලින් ද සිල්වා නිකම් ම එළිකරල දානවා. අනිත් පැත්තෙන් බෝධි පූජා, බාර හාර, දේව යාඥා වගේ ආයතනගත වෙලා තියෙන සංකීර්ණ චාරිත්‍රවිධි අඩු වියදමෙන් ගෙදරදි ම කර ගන්න සරල ක්‍රම ෆෙන්ෂුයිවලින් කියලා දෙනවා. පෙරදිග දාර්ශනික සංකල්පවල විනිවිද බැලිය යුතු ගැඹුරු නිසල විල ෆෙන්ෂුයි සහ නලින් ද සිල්වා කලඹලා මඩ කරලා දානවා. 


නූතන විද්‍යාවට කත් අදින බොහෝ දෙනා හිතා ගෙන ඉන්නේ විද්‍යාව කියන්නේ පරම දැණුමක් කියලා. ඒත් නූතන විද්‍යාව කරන්නේ යම් කිසි සංසිද්ධියක් පැහැදිලි කරන්න ප්‍රවාදයක් ඉදිරිපත් කරන එක. ඒ ප්‍රවාදය පවතින දැණුමට අනුව තාර්කික නම් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් නම් ඊට වඩා හොඳ ප්‍රවාදයක් එන තෙක් ඒක වලංගුයි; හුඟක් වෙලාවට වෙන්නේ අලුත් අලුත් වැඩ කරන්න ගියහම පරණ ප්‍රවාදයේ සීමා තේරෙන්න පටන් ගැනීම. අලුත් තත්වවලට අත්දැකීම්වලට හරියන්න නම් පරණ ප්‍රවාදයේ සීමා වෙනස් කරන්න හරි අලුත් ප්‍රවාද ගේන්න හරි වෙනවා. පිළිගත් සම්මතය වෙනස්වීම්වලට විවෘතව තැබීමත්, හැම තිස්සේ ම පවතින ප්‍රවාදය වෙනස් කරන්න උත්සාහ කිරීමත් නූතන විද්‍යාවේ ලක්ෂණ. හැබැයි විද්‍යාව කියන්නේ අපි භාෂාවෙන්, සංස්කෘතියෙන් ගොඩනගන සාපේක්ෂ කතන්දර මිසක් පරම දැණුමක් නෙමෙයි කියල පශ්චාත් නූතනවාදී දාර්ශනිකයින් ආයෙත් එළිදරව් කරනවා. මේ වෙන තෙක් ප්‍රවාද හැටියට තිබූ නූතන විද්‍යාව පරම දැණුමක් විදිහට විද්‍යාඥයෝ පවා හිතන්න ගත්තේ ඊට පස්සේ වෙන්න පුළුවන්. ඉතින් පරම දැණුමක් ඉදිරිපත් නොකර සැරෙන් සැරේ හැව අරින, අලුත් අදහසකින් පරණ අදහස් බොරු කරන නවීන විද්‍යාව පරම සත්‍යයක් නෙමෙයි කියලා නලින් ද සිල්වා ආයෙත් අලුතෙන් අඳුර ගන්නවා.


දැණුම සාපේක්ෂ නිසා ඒ දැණුමට අහු වෙන යථාර්ථයත් සාපේක්ෂයි කියලයි පශ්චාත් නූතනවාදීන් කියන්නේ. එහෙම නම් යථාර්ථය කියන්නෙත් ගොඩ නගපු අදහසක්. ‘මම’ කියන්නෙත් මවා ගත්ත, වැරදියට අඳුර ගත්ත අදහසක්. මෙතනදි පශ්චාත් නූතනවාදී අදහස බෞද්ධ දර්ශනය එක්ක ලඟින් යනවා. හැබැයි මේ ‘සාපේක්ෂතාව පිළිබඳ දැණුම’ නම් විද්‍යාව වගේ සවුත්තු නොවෙන පරම දැණුමක් බව හැමෝට ම නිසැක යි; යම් ‘විශේෂ’ තත්වයක් යටතේ ඒ දැණුම විතරක් සංස්කෘතිකත් නැහැ; වාසනාවකට වගේ ඒ දැණුම කිසි ම සමාජ දේශපාලන බලවේගයකට සේවය කරන්නෙත් නැහැ. මේක පෙරදිග විතරක් තියෙන දැණුමක් කියලා අපි හිතා ගෙන හිටියට පුනරුදයට ඉස්සර බටහිරත් මේ වගේ පරම දැණුමක් තිබුණ බව නලින් ද සිල්වා පිළිගන්නවා. ආදි කාලේ ඉඳන් මේ අසිරිමත් පරම දැණුමට එළඹෙන්නේ නිසැක ක්‍රම දෙකකින්. එකක් තමන් විසින් ම ගොඩ නගා ගත්ත ස්වයං අවබෝධයෙන්; එහෙම නැත්නම් දන්න කෙනෙකුගෙන් හෝ ස්වයං අවබෝධයට පත් වූ කෙනෙක්ගෙන් අසා දැන ගැනීමෙන්. සාමාන්‍ය මිනිස්සු මේවා අහගන්නේ විකිපීඩියා එකෙන්. කතෝලිකයින් මේවා අහගන්නේ දිවැසිවරුන්ගෙන්. පශ්චාත් නූතනවාදීන් මේවා අහගන්නේ බොහෝ විට ඩෙරිඩාගෙන් ල්යූතාගෙන් හෝ ජිජැක්ගෙන්. නලින් ද සිල්වා නම් මේවා අහගන්නේ අතරමැදියෙකුගෙන්; අතරමැදියා ඒක අහගන්නේ නාථ දෙවියන්ගෙන් හෝ බෝධි සත්වයින්ගෙන්. ඒත් මේක නවීන විද්‍යාව වගේ වෙනස් වෙන පට්ටපල් බොරුවක් නොවෙයි. මොකද අපිට ඒ ගැන සැකයක් තියෙනවා නම් නලින් ද සිල්වාගෙන් හෝ නාථ දෙවියන්ගෙන් හෝ අහගන්න පුළුවන් නිසා; එහෙම නැත්නම් ස්වයං අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් නිසා. රාමානුයුජන් කී විදිහට ඒක දේව මතය නම් කොහෙත් ම නැවත ඔප්පු කළ යුතුත් නැහැ.


දැන් මෙතන වැදගත් ම කාරණාව බටහිර විද්‍යාවට පැහැදිලි කළ නො හැකි ඉහත සඳහන් කළ අද කාලේ යථාර්ථය නලින් ද සිල්වාගේ පරම දැණුමෙන් මනාව තහවුරැ කළ හැකි වීම යි. විද්‍යාවේ ද්වීකෝටිකයට අනුව දෙයක් එක්කෝ එක තැනක පැවතිය හැකියි, නැත්නම් පැවතිය නො හැකියි; අවස්ථා දෙක යි. නලින් ද සිල්වාගේ 720º උභතෝකෝටිකයට අනුව එක දෙයක් එක ම මොහොතේ එක තැනකත් තව තැනකත් පැවතිය හැකි යි. එහෙනම් ඒකෙ විලෝමය අනුව, එක ම මෙහොතේ එක තැනක එක දෙයක් එක්ක තව දෙයක් කිසි ම ගැටළුවක් නැතුව පැවතිය හැකි යි: නූතන දැණුම එක්ක මධ්‍ය කාලීන දැණුම, ශිෂ්ට සිරිත් එක්ක අශිෂ්ට සිරිත්, තර්කණය එක්ක අතාර්කිකත්වය, පරිගණක එක්ක ෆෙන්ෂුයි, අනතර්ජාතිකත්වය එක්ක ජාතිකත්වය, සාමය එක්ක යුද්ධය, ධනවාදය එක්ක සමාජවාදය, ඒකාධිපතිවාදය එක්ක ස්වතන්ත්‍රවාදය, සදාචාරය එක්ක මෘගත්වය. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා ඇහුවොත් බටහිර විද්‍යාවට කොහොමත් උත්තරයක් නැහැ; අසරණ යි; තූෂ්නිම්භූත යි. පශ්චාත් නූතනවාදීන්ට අනුව ඒ ප්‍රශ්නය සංස්කෘතිකයි; සාපේක්ෂ යි. පෙරදිග දැණුමට අනුව ඒක ස්වයං අවබෝධයෙන් දැන ගත යුතු යි. එහෙම නැත්නම් නලින් ද සිල්වාට අනුව ඒක දිවැසිවරුන්ගේ හෝ නාථදෙවියන්ගේ නියමයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දැණුම ගැන ආපහු හිතන්න අපට ලැබුණු හොඳ අවස්ථාවක් නෙමෙයි ද?..

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...