අම්පිටියේ සුමන හිමිගෙන් වෙන්ව ‘යමු’!


අම්පිටියේ සුමන හිමිගේ හැසිරීම ගැන ‘යමු’ කණ්ඩායම ඉදිරිපත් කළ මතවලට අති දැවැන්ත විරෝධයක් එල්ල වුණා. මීට කලින් ම කලාත්මක විදිහට අසභ්‍ය වචන භාවිතා කිරීමට සුමන හිමිගේ ඇති දක්ෂතාවයට දස අතින් පැසසුම් ලැබී තිබුණා. ඊට අමතරව, සිවුරට නොගැලපෙන විදිහට හැසිරීම, චණ්ඩියෙක් ලෙස රඟපෑම, ද්‍රවිඩ ග්‍රාමසේවක නිලධාරීයාගේ සේවයට අයුතු ලෙස බාධා කිරීම, ඔහුට ත්‍රස්තවාදියෙක් ලෙස අභූත චෝදනා කිරීම, පොලිසියෙන් කණට ගසා ඉවත් කිරීම වෙනුවට ‘අපේ හාමුදුරුවනේ’ පමණක් කීම, සුළුතර ජාතිකයෙකුට හෝ ගිහි අයෙකුට මෙසේ හැසිරීමට ඉඩක් ඇද්දැයි ඇසීම, විරුද්ධ පාර්ශවයේ ඉවසීම ආදිය ගැන සංවාදය අවසන් වෙන්නේ හිමිනමක් හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් සහ සුමන හිමියන්ට කෝපය කළමණාකිරීමේ වැඩසටහනකට යාමට යෝජනා කිරීමත් සමගින්.


එක විදිහකට දේශය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් පෙනී සිටින අයගේ ලේ උණු කරලා, එක් සේසත් කරන්න ඒ වීඩියෝව සමත් වුණා. ඉංග්‍රිසී කතා කරමින්, කොළඹ වායු සමනය කළ කාමරවල සැප විඳිමින්, මඩකලපුවේ වෙන දේ ගැන නොදැන විවේචනය කරන බවත්, පසුබිම නොතකා කතා කරන බවත්, ජාතිය ආගම වෙනුවෙන් අසභ්‍ය වචන භාවිතා කිරීම, මරණ තර්ජන කිරීම, පහර දීම, මිනී මැරීම ආදිය කැප බවත්, මේ විවේචන ජාතියට එරෙහිව දියත්වෙන කුමන්ත්‍රණයේ තවත් කොටසක් බවත් කියවුණා. මේ ප්‍රතිවිවේචන බොහොමයක් ම යළිත් කලාත්මක අසභ්‍ය වචනවලින්, ‘යමු’ කණ්ඩායමේ අයගේ ශාරීරික ස්වභාවය, ලිංගිකත්වය උලුප්පන පැහැදිලි කිරීම්, උත්පත්ති කතා සහ ජාතක කතා ආදියෙන් පුරවා තිබුණා. මේ ගොඩක් අදහස් යමු කණ්ඩායමේ අය අයත් පන්තියට, සංස්කෘතියට, වටිනාකම්වලට එල්ල කළ අවිධිමත් ප්‍රහාර බව පැහැදිලිව පෙණුනා.


මේ දෙපැත්තට ම සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ සහයෝගය ලැබුණා. ඊට අමතරව දෙපැත්තෙන් ම පිටස්තර මධ්‍යස්ථ මතත් පළවුණා. සිංහල බෞද්ධ සංස්කෘතික අධිකාරිය සුළුතර ජාතික ආගමික කොටස් පීඩනයට ලක් කරන බලවේගයක් හැටියට මතු වෙන හැටි, එයට ආයතනගත සහය ලැබෙන හැටි, නීතිය ඊට එරෙහිව ක්‍රියාත්මක නොවෙන හැටි, එයට නිර්දය ලෙස පහර දිය යුතු බව කියන අය වගේ ම, ජාතික ආගමිකවාදීන්ගේ ප්‍රතිචාරයේ කුණුරසය විඳින, ඔවුන් තවත් කුලප්පු කරමින් සතුටු වෙන පිරිසකුත් හිටියා. ඒ වගේ ම යමු කණ්ඩායම සිතා මතා ම ගණනය කරමින්, උපක්‍රමශීලීව ජාතිවාදී ගැටුම තීව්ර කරන බවත්, එය ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු සඳහා නොමිලේ ප්‍රචාරණය ලබා ගන්නා ක්‍රමය බවටත් විවේචන මතු වුණා. එම කණ්ඩායමේ බහු සංස්කෘතික ස්වරූපය, කාලීන දේශපාලනයට අනුව නිරවද්‍ය තක්සේරුව, ප්‍රභූ පාන්තික ජේත්තුව ආදිය සමීප අවධානයට ලක් වුණා. මෙවැනි කුපිත කිරීම් ලංකාවේ ජාතිවාදී, ආගමිකවාදී කල්ලිවල ස්වභාවය, භාෂා පරිණාමය, සමාජ විචලතා ආදිය අධ්‍යයනය කිරීමට ශාස්ත්‍රවේදීන්ට ලැබුණු අගනා රන් දොරටුවක් බවත් කියවුණා. ඒ වගේ ම ‘යමු’ කණ්ඩායම වැනි සමාජ තත්වයෙන් උසස්, අන්තර්ජාතික භාෂාවක් මනාව හැසිරවිය හැකි අය මීට වඩා වගකීම් සහගත විය යුතු බවත් යෝජනා කෙරුණා.


බොහෝ අය අනුමාන කළ විදිහට ම මේ සිදුවීමෙන් වර්තමාන පසුබිම ගැන තක්සේරුවක් කිරීම සහ ලැබී ඇති තත්ව සුබවාදී ඉදිරියක් වෙනුවෙන් හරවා ගැනීමට උත්සාහ කිරීම හැර අපිට වෙනත් විකල්පයක් නැහැ. නිරායාසයෙන් මතු වෙන අපේ උපකල්පනවල අඩු පාඩුකම් සහ අලුත් මාධ්‍යවල සහ තාක්ෂණයේ භාවිතාව මේ පසුබිම ඇතුළේ හැසිරෙන ස්වභාවය තමයි මෙතනදි මතු කිරීමට ඇති වැදගත් ම දේ. ඕනෑම සන්නිවේදනයක් කියන්නේ අරමුණක් වෙනුවෙන් වෙන ක්‍රියාවලියක්. ප්‍රතිපලය දෙස බැලීමෙන් බොහෝ අරමුණු වටහා ගත හැකියි. 


‘යමු’ කණ්ඩායමේ ප්‍රතිචාරයෙන් ජාතිවාදී බෙදුම්වාදී ප්‍රවණතා බුර බුරා නැගීමක් වූ බව, සුළුතර ජනතාවගේ පීඩනය, නොසන්සුන්බව සහ අසහනය තවත් ඉහළ දැමූ බව බොහෝ දෙනා හිතනවා. ඒ අදහස ගෙනා අය ‘යමු’ කණ්ඩායමේ සාමාන්‍ය කාලීන දැණුම සහ අවබෝධය ගැන පුදුම වූ බවක් තමයි පෙණුනේ. ඒ අතර මීට වඩා ඒ ප්‍රතිචාර ගැඹුරැ නොවීම, ලැබිය හැකි ප්‍රතිවිචාර පෙර තක්සේරු නොකිරීම, සමාජ දේශපාලනික වගකීම් නොසැලකීම වගේ ප්‍රශ්නත් මතු වුණා. ඒ වගේ ම ‘යමු’ කණ්ඩායම නිදහස් මතවාද වෙනුවට සදාචාරවාදී සහ මර්ධනකාරී යෝජනා ගෙන ඒමත් පුදුමයට කරුණක් වුණා. ඒ වගේ ම කෙනෙක් නිරායාසයෙන් ම ඉංග්‍රීසි බස පරිහණය කළ විට ඔවුන්ගේ විචාර බුද්ධිය ද නිරායාසයෙන්ම ඉහළ මට්ටමක තිබිය යුතු බව මේ අය උපකල්පනය කරන බව පැහැදිලිව පෙණුනා. ඉංග්‍රීසි බස හැසිරවීම, විදග්ධ සහ පරිණත පෙනුම ආදිය වෙනත් ගුණවලට අනිවාර්ය මිනුම් දණ්ඩක් නොවන බව ගොඩක් අය අමතක කළා. නමුත් ‘යමු’ කණ්ඩායමත් අපි වගේම අපේ නූතන සමාජයේ එක්තරා හරස් කඩක් බව මතකයට ගැනීමත් වැදගත්. සාමාන්‍යයෙන් මේ අය වරප්‍රසාදිත සමාජ සම්බන්ධතා ඇති ආර්ථික වශයෙන් ස්ථාවර පසුබිමක් ඇති අය බව ඇත්ත. ඒත් එදිනෙදා ජීවිතයේදී ඕනැ තරම් අසභ්‍ය බස පුරුද්දක් හැටියට පාවිච්චි කළත්, සමාජයේ දී, ප්‍රසිද්ධියේ ඔවුන්ට ඒ බස යොදා ගැනීමට වෙන්නේ නැත්තේ ඔවුන්ගේ අවශ්‍යතා බොහෝ විට තහවුරු වී ඇති නිසා.

ඒ වගේ ම ‘යමු’ කණ්ඩායම දැණුවත්ව හෝ නොදැණුවත්ව ප්‍රචාරණය මූලික කර ගත් ව්‍යාපාරයක තදින්ම නිරත වී හිටි බවත් මේ බොහෝ අයට අමතක වුණා. ඔවුන් ලංකාවේ නව මාධ්‍ය භාවිතයට ඉතා වැදගත් සාධනීය හඳුන්වාදීම් කිරීමට සහ යල් පැන ගිය පටු රාමු විවෘත කිරීමට නිසැකයෙන් ම සහභාගි වුණා. ඒත් ඔවුන්ගේ පැවැත්ම පදනම් වෙන්නේ ඉතා අඩු වියදමකින් තම වෙබ් අඩවියේ ව්‍යාප්තිය ඉහළ දැමීම මත. ඒ අරමුණ ප්‍රමුඛ වෙන විදිහට, අනෙක් පරිවාර අරමුණු හොඳ හෝ නරක විචලතා පෙන්නුම් කිරීම මේ වගේ පසුබිමක දි සාමාන්‍ය දෙයක්. ඔවුන් සමාජ සංවාදවලට එළඹෙන්නේ, අවන්හල්, ආහාර ආදිය රස බලන ආකල්පයෙන් ම බවත් තැනක කියවුණා. එවැනි සැහැල්ලු බැල්මකින් බොහෝ ගැඹුරු තැන් ස්පර්ෂ කළ හැකි බවත් තර්ක කෙරුණා. සමහර අවස්ථාවලදී මෙය ඇත්තක් විය හැකි නමුත්, එය පොදු ඇත්තක් වීමට ඇති ඉඩ හරි අඩුයි. ඕනෑම මාතෘකාවක් උණුසුම් කර ගැනීම ප්‍රචාරණ ව්‍යාපාරවල සාමාන්‍ය අවශ්‍යතාවක්. ඔවුන්ට එල්ලවෙන ප්‍රහාරය පවා, ඔවුන්ගේ අනුග්‍රාහකත්වය සහ මූලික අරමුණවලට සුබවාදීව බලපෑම වළක්වන්න කාටවත් බැහැ. ඒත් ප්‍රතිචාරවලින් ප්‍රචාරණයට එල්ල වෙන බාධාකාරී බලපෑම් අනුව ප්‍රචාරණ විධික්‍රම වෙනස් කරන්නත් ඔවුන්ට සිදු වෙනවා. ඔවුන්ගේ යම් ක්‍රියාවලියක අමතර හොඳ නරක හැම තිස්සෙ ම අතුරු ප්‍රතිපලයක්. එත් අවශ්‍යම නම් හැම තිස්සෙ ම හොඳ අතුරු ප්‍රතිපල ගැන විතරක් බලාපොරොත්තුවෙන් ඉන්න අපිට පුළුවන්.


මෙතනදි අම්පිටියේ සුමන හිමිගේ අරමුණත් සලකා බැලීම වැදගත්. තමන්ගේ හැකියාව පරිදි සුමන හිමි කරන්නේත් පැවැත්ම වෙනුවෙන් වර්තමාන තත්ව භාවිතයට ගැනීම. ඉංග්‍රීසි බැරි සුමන හිමි ඉංග්‍රීසි වෙනුවට පාවිච්චි කරන කඩුව නිර්මාණාත්මක අසභ්‍ය භාෂාව. සෑම වැදගත් සිදුවීමක් ම රූගත කර ගැනීමට උත්සුක වීම මේ සිදුවීම්වල අනිවාර්ය අංගයක්. ඒවා සැනින් අන්තර්ජාලයට යොමු කිරීම මත තමයි සුමන හිමිගේ ආරක්ෂාව රැඳී පවතින්නේ; ජාතිකත්වය, ආගමිකත්වය වැනි හැඟීම් මත අනුග්‍රාහකත්වය රැස් කිරීම තමයි අරමුණ. සුමන හිමිගේ වීඩියෝවේ සිටින ග්‍රාමසේවක නිලධාරියා, පොලිස් නිලධාරීන් සහ ඒ ඒ පාර්ශවයන් වීඩියෝ කිරීම නොවන්නට හැසිරෙන විදිය අපිටවත්, ඔවුන්ටවත් අනුමාන කළ නොහැකියි. ඒ ඒ අයගේ සැබෑ ස්වභාවය වීඩියෝවේ දැක්වෙන ස්වභාවයට වඩා බොහෝ වෙනස් විය හැකියි. ඔවුන් සුමන හිමිගේ හැඟීම් පාලනය කර ගත නොහැකි බව දෙස සානුකම්පිතව බැලුවාය යන්න පවතින තත්ව යටතේ කළ හැකි ඉතා ම අභව්‍ය නිගමනයක්. ඔවුන්ගේ දෑත් බැඳ දමා තිබෙන්නේ සුමන හිමි පසුපස සිටින අනුග්‍රාහකත්වය සහ සම්බන්ධතා ගොඩනගන නව තාක්ෂණය යැයි උපකල්පනය කිරීම වඩාත් සාධාරණ යි. මේ අනුග්‍රාහකත්වය සංවිධානය කර දෙන්නේ තීව්ර කළ බෙදුම්වාදී අදහස් සහ ව්‍යාපෘති. එවැනි බලයක් සහ සම්බන්ධතා රහිතව, සුමන හිමි ජීවත් වෙන සමාජ දේශපාලන පසුබිම අනුව මෙවැනි සිදුවීමක ප්‍රතිපල සමහරවිට කිසිදාක එළියට එන එකක්වත් නැහැ. යම් යම් සමාජ කණ්ඩායම්වලට නීතිය, සාධාරණය, සාමය, ආරක්ෂාව, දැණුම නොලැබී යන විට යොදා ගත හැකි විශිෂ්ට ආරක්ෂක ක්‍රියාවලියක් තමයි සුමන හිමි, බොදු බල සේනා ක්‍රියාකාරීන්, තවුහිඩ් ජමාත් වැනි සංවිධාන දැන් සොයා ගෙන තියෙන්නේ. එක්තරා විදිහකට එය පවතින ඉඩකට හැඩ ගැසීමක් හෝ ඒජන්ත තනතුරක් බාර ගැනීමක්. නමුත් එහි අවසාන ප්‍රතිපල ඉන් සාධාරණිකරණය වෙන්නේ නැහැ. මේ අය සීමාව පැනලා පවතින ක්‍රමයට කරදයක් වුණොත් නීතිය ඉදිරියට එනවා. ඊට පස්සේ අදාළ සංකල්ප වෙන මුහුණුවරකින් ඉදිරියට රැගෙන යාම වෙන කෙනෙකුට බාර වෙනවා. බහුජාතික සමාගමක ප්‍රාදේශීය එජන්ත තනතුරුවල ස්වභාවයට වඩා මෙතන වෙනසක් නැහැ.


අවසාන වශයෙන් සමාජයේ එක් එක් කණ්ඩායම්වල පැවැත්මට ජාතිකවාදය, ජාතිවාදය, ආගම්වාදය, සදාචාරාත්මක සීමා, සම්ප්‍රදායන්, කොච්චර සේවයක් කරනවද යන්න මේ සිද්ධියෙන් පැහැදිලි යි. සෑම කණ්ඩායමක් ම අනෙක් කණ්ඩායම ඒවා ප්‍රයෝජනයට ගන්නා විට හෙළා දැක්කත්, තමන්ගේ භාවිතය, පැවැත්ම සහ මතය ඒවා සමග අවියෝජනීය විදිහට බැඳී ඇති හැටි දකින්නේ නැහැ. තමන් නීතිය, සාමය, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීන බව තමයි දෙපැත්තෙ ම මතය. සෑම මතයක් ම අනන්‍යතාවයක් විදිහට බාර ගන්න අතර ම, විරුද්ධ හැඟීම් කුපිත කිරීම අද කාලේ පැවැත්ම රැඳී තියෙන අනිවාර්ය සාධකයක්. හැම සංකල්පයක් ම වඩාත් හොඳට පැතිරෙන්නේ, ස්ථාවර වෙන්නේ ධ්‍රැවීකරණයෙන්. ඒවා ඒ ඒ ජනකොටස් නිරායාසයෙන් ඇති කර ගත් අදහස් විදිහට මිස, හිතා මතා යම් යම් වාසි සහ අරමුණු වෙනුවෙන් මතු වෙන ඒවා බව පිළිගන්න අපි කැමති නැහැ. ඉංග්‍රිසී, අසභ්‍ය භාෂාව, න්‍යාය මේ හැම දෙයක් ම අද පසුබිම එක්ක සන්නිවේදනයේ ධ්‍රැවීකරණ මෙවලම් ලෙස භාවිතා වෙනවා. පණිවිඩය තීව්ර කිරීමට යොදා ගත හැකි මේ අංග අද බොහෝවිට පණිඩිඩය බොඳ කිරීමට හෝ හිතා මතා වසා දැමීමට යි යොදා ගැනෙන්නේ. සන්නිවේදනය ‘තුළ’ කියවීමට වඩා ‘පිටත’ කියවීම, ‘පේළි අතරින් එබී බැලීම’ අද ඉතා ම වැදගත් ඒ නිසයි. අපි කැමති වුණත් නැතත්, අද කාලේ අනන්‍යතාවය, විරෝධය, අරගලය කියන්නෙත් ලොකු වෙළඳාමක්. රහස් පරීක්ෂක කතාවක දි, මරණයෙන් වාසි ලැබෙන කෙනා අන්තිමට මිනීමරුවා වෙන විදිහට ම, අපි මේ සංකල්පවලට වග කිව යුතු අය තීරණය කළ යුතු යුගයක් මේ. පුදුමෙකට වගේ දැනට නම් අපි හිතන්නේ මැරෙන කෙනාම මිනීමරුවා බවයි.


කොහොම වුණත් වාසනාවකට වගේ අලුත් මාධ්‍ය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වගේ දේවල් තාක්ෂණයත් එක්ක අද බොහෝ අයට ලැබෙනවා. ඕනැම ගැටලුවක් සමාජයේ පුළුල් පරාසයක් වෙත විවිධ මට්ටම්වලින් විවෘත වීම සුබදායක දෙයක්. බෙදුම්වාදී සංකල්ප ගැන විචාරය ඒ සංකල්ප ඇතුළේ සිටම කිරීම සාර්ථක නැති බව පෙනුණත් හැම විවිර වීමක් ම තව සංවාදයකට ඉඩ හදල දෙනවා. ජලය දෙබෑවීමෙන් පතුල මතු වෙනවා වගේ ම ධ්‍රැවීකරණය හෝ අන්තවාදය වුණත් නිශ්චිත අවස්ථාවක දී යම් යම් පදනම් පැහැදිලිව මතු කර දෙනවා. ඒ නිසා ඕනැම සංවාදයක නිශ්චිත වැදගත්කම කලින් ම තීරණය කරන්න කිසිවෙකුට බැහැ. ඒ වගේ ම අපේ සංවාද තියෙන්නේ ‘එළියේ’ සහ ‘ඉහළින්’ කියල අපි හිතුවට හැම තිස්සෙම අපිත් ඒ සංවාදයේ ම අවියෝජනීය කොටසක් බව දැන ගැනීමත් ඉතා ම වැදගත්.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...