ජාතිකත්වය ගැන ප්‍රවාද...


සිංහල බෞද්ධ ජාතිකවාදය ගැන අදහසක් වංශපුර දේවගේ ජානක ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරනවා. නමුත් ලෝකයේ සෑම ප්‍රාථමික ජන සමාජයක ආකෘතියම තමයි මේ ‘සිංහල බෞද්ධ ජාතිය’ විදිහට ජානක අලුතෙන් ඉදිරිපත් කරන්නේ. අපි කැමති වුණත් නැතත්, ‘කුඩා ජන සමාජ’, පැවැත්ම සහ ආරක්ෂාව සඳහා ‘ලොකු සමාජවල බහාලීම’ කියන්නේ සාමාන්‍ය සමාජ විද්‍යාව සමාජය පැහැදිලි කරන සම්ප්‍රදායික ආකෘතිය ම යි. මේ ලිපියේ එකම වෙනස ඒ ප්‍රාථමික සරල සමාජයක් ගැන අදහස, අතීතකාමී පදනමකින් වර්තමානයට අලුතෙන් යෝජනා කිරීම යි.

‘සාපේක්ෂව පැවතීම’ හෙවත් මිනිසා සහ ජීවත්වෙන පරිසරය අතර සම්බන්ධය පැහැදිලිව හඳුනා ගත හැකි තරම් සරලව පෙනීම ප්‍රාථමික සමාජවල අනිවාර්ය ලක්ෂණයක්. අපේ සරල ගැමි ජීවිතවල හැත්තෑවේ දශකය වෙන තෙක්ම මේ ස්වරූපය පැහැදිලිව දැකිය හැකි වුණා. මේ සරල සම්බන්ධය අඩු වැඩි වශයෙන් මෑතක් වෙනතුරු පෙරදිග සහ මධ්‍යකාලීන යුග වෙනතෙක් බටහිරත් පැවතුණා. ජානක කියන විදිහටම, ජාතිය කියන අදහස පැතිරෙන්නේ කුඩා සමූහවල පැවැත්ම සහ ආරක්ෂාව සඳහා කුඩා ඒකක එක්සත් කිරීමේ අරමුණෙන්. පවුල, වරිගය, කුලය, ගෝත්‍රය, ජාතිය ආදි වශයෙන් විශාල ඒකක හැටියට සංවිධානය වීම වගේම, විශාල ඒකක ඇතුළේ කුඩා ඒකක ආරක්ෂා කිරීමත්, පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් සිදුවෙන එකඟතාවයන්.


නමුත් විශේෂයෙන්ම කාර්මීකරණය, නාගරීකරණය, මුදල් පරිහණය, වෙළඳාම සමග සමාජ සම්බන්ධතා සංකීර්ණ වෙත්ම පරිසරය සමග මිනිසාගේ සම්බන්ධතාවය හඳුනා ගැනීම ක්‍රමයෙන් අපහසු වුණා. හරියටම කිව්වොත් ‘සාපේක්ෂව පැවතීම’, ‘වියුක්තව පැවතීමක්’ ලෙසට පෙනෙන්න ගත්තා. බොහෝ බටහිර සමාජවල මිනිසා යනු පරිසරයෙන් වියුක්ත ස්වාධීන පුද්ගලයෙක් යන අදහස, කාර්මීකරණය නාගරීකරණය වැනි ආකෘතිවල වර්ධනය එක්ක අනෝන්‍ය වශයෙන් බැඳුණු, ඊට උදව් කරන අදහසක්. ඒ වගේම පරිසරය තම අණසකට ගැනීමට මේ ‘දැක්ම’ උදව් වුණා. නමුත් එය අලුත් සමාජ ආකෘති නිසා සිදු වූ ‘දිස් වීමක්’ පමණයි. නමුත් මිනිසා සහ පරිසරය අතර සම්බන්ධතාව තීක්ෂණ විශ්ලේෂණවලින් සහ ගවේෂණවලින් මතු කර ගත හැකි යි.


මේ වියුක්ත දැක්මේ ප්‍රතිපලයක් විදිහට සමාන්‍ය මිනිසා තමන් පරිසරයෙන් සහ සමාජයෙන් වෙන් වී සිටින අනන්‍ය නිදහස් පුද්ගලයෙක් කියන ‘මුලාව’ වැළඳ ගත්තා. සමාජ වටිනාකම් සහ පුද්ගලික ජීවිත සකස් වුණෙත් මේ සංකල්පය ආරක්ෂා වෙන විදිහට. මිනිසාගේ පැවැත්ම සහ ආරක්ෂාව පිළිබඳ වගකීම සමීප සමාජ කණ්ඩායම්වලින් සැදි ආකෘතිවලින් ඈතට ගියා. ඒවා රදළ ක්‍රමය සහ රාජාණ්ඩුත්, පසුව මධ්‍යගත රාජ්‍යය, නියෝජිත ආණ්ඩු, නීතිය, පොලිසිය වගේ වියුක්ත සහ දුරස්ථ ආයතන පවරා ගත්තා. ඒ ක්‍රමය මිනිසාගේ තනි පැවැත්ම, පුද්ගල නිදහස ගැන අදහස තවත් තීව්ර කළා. ඊලඟට ගෝලීයකරණය සහ ජ්‍යාතන්තරකරණය සමාජ සම්බන්ධතා කෙහෙත්ම හඳුනාගත නොහැකි විදියට තවත් දුරස් කළා. බටහිර අධිරාජ්‍යවාදය විසින් පෙරදිග, අප්‍රිකාව, සහ ඇමරිකාව ආක්‍රමණය කරන විට, ඒ රටවල ඔවුන්ගේ බලය පිහිටවන විට, ඊට යටත් වූ එළිපිට ‘සාපේක්ෂව පැවතීම’ මත පදනම් වූ ජාතීන් දුර්වල, ප්‍රාථමික, නොදියුණු ජාතීන් හැටියට පෙනෙන්න පටන් ගත්තා.


නමුත් වැඩි කල් නොයාම අධිරාජ්‍යවාදීන් වඩාත් බලවත් වෙන්නේ ඔවුන් තුළ ඇති නිසග උත්තරීතර ගුණයකට වඩා ඔවුන්ගේ ක්‍රමවේදය නිසා බව එළි වුණා. ඔවුන් භාවිතා කළ කාර්මීකරණය, සන්නිවේදන ක්‍රම, තාක්ෂණික ක්‍රම සහ නිෂ්පාදන මාදිලි, චීනය, ජපානය, මැලේසියාව වගේ රටවල් සාර්ථක විදිහට භාවිතා කළා. ඇමරිකාව, එංගලන්තය සහ යුරෝපයේ බලය සංකේන්ද්‍රණය වීම අභියෝගයට ලක් වුණා. රුසියාව ඇමරිකාව සහ යුරෝපයට යටත් නැති බලයක් විදිහට ඉස්මතු වුණා. දැන් සාමාන්‍යයෙන් අපේ රටවල බටහිර චින්තනය ලෙස හැඳින්වෙන්නේ බටහිර පුනරුදය එක්ක වර්ධනය කෙරුණු, තර්කණය සහ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වෙන මේ සිතීමේ මාදිලිය. මේ ක්‍රමවේදයේ මූලිකාංග බටහිරත් පෙරදිගත් ඈත අතීතයේ සිටම තිබුණා. මේ ක්‍රමවේදය ප්‍රායෝගිකව භාවිතයට ගැනීම බටහිර සාර්ථක වීමත් එක්ක එය බටහිර ක්‍රමය ලෙස නම් කෙරුණා. නමුත් අද මේ ක්‍රමය ඉදිරියට යන්නේ ලෝකය පුරා විසුරුණු පුද්ගල සහ සම්පත් දායකත්වයත් එක්ක. ඇත්තටම අද ඇමරිකාවේ සහ යුරෝපයේ පවා විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රධාන අරටුව හදන බහුතරය චීන, ඉන්දියානු හෝ ආසියානු සම්භවයක් සහිත පිරිසක්.

මේ සියල්ල එක්කම ජ්‍යාතන්තරකරණයේ හෝ ගෝලීයකරණයේ අතුරු ප්‍රතිපලත් මතු වුණා. සෑම ජාතියක් අතරම වෙනස්කම්, අනන්‍යතා, ස්ත්‍රී පුරුෂ භේද, කළු සුදු බේදය වගේ බෙදුම් රේඛා ප්‍රශ්න වෙන්න පටන් ගත්තා. සාම්ප්‍රදායික අධිරාජ්‍යවාදීන් වඩාත් උසස් ජන කොට්ටාශයක් ලෙස සිතීම ප්‍රශ්න වුණා. ඔවුන්ගේ බලයේ පදනම වෙන ක්‍රමවේදය මත ‘බටහිර දියුණුව’ ඕනෑම ජාතියකට අයිති කර ගත හැකි බව පෙණුනා. ඒ එක්කම නිදහස සහ ස්වාධීනතාව පිළිබඳ බටහිර සංකල්පම ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති ප්‍රශ්න කළා. අධිරාජ්‍යවාදී යුගයේදී සම්පත් කොල්ලකෑමේ සාධාරණත්වය ගැන විවේචන මතු වුණා. රටවල් අතර සංක්‍රමණය, පවතින ජාතීන් අතර මුසු වීම ආදිය එක්ක පැවැත්ම සහ මානව ආරක්ෂාව පිළිබඳ සාධක වෙනස් වුණා. ඉදිරි පැවැත්ම සඳහා ජාතිය මත පදනම් වූ සාපේක්ෂ කුඩා ජන සමාජ, ජාත්‍යන්තර මට්ටමේ ‘ලොකු සමාජවල බහාලීම’ක් අවශ්‍ය බව පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තා.

ඇමරිකාව සහ එංගලන්තයේ ආර්ථික බලය දමනය කිරීම සඳහා යුරෝපීය ජාතීන් දේශ සීමා ඉක්මවා යන වඩා විශාල යුරෝපීය එකමුතුව පිහිටුවා ගත්තා. යුරෝපය ඒකකයක් සේ ගනුදෙනු කිරීම, එක පැත්තකින් ඇමරිකාවට ආර්ථික තර්ජනයක් වුණත්, ආසියානු බලය දමනය කිරීමට නම් යුරෝපය ඒකකයක් සේ ක්‍රියා කිරීම ඇමරිකාවටත් වැදගත්. දැනට ලෝකයේ සියලු රටවල් ආර්ථිකව සහ දේශපාලනිකව එකිනෙකට සම්බන්ධව සිටින අතර, එක් එක් ආර්ථික කලාප අතර බිහිසුණු තරගයක් පවතිනවා. ඒ තරගය පවතින්නේ රටවල්වල ස්වාධීනත්වය සඳහා නෙවෙයි; ලෝක ආර්ථික සාධක හසුරුවන බල ආධිපත්‍යය වෙනුවෙන්. ඒ වගේම සෘජු අධිරාජ්‍යවාදය වෙනුවට වක්‍රව වෙළඳ ගනුදෙනුවල අසමානතා මගින් සහ ණය ගනුදෙනුවලින් ධනය රැස් කිරීම අලුත් ප්‍රවණතාව වුණා. සැබෑ සමාජ ආර්ථික සබඳතා සඟවමින්, නිදහස, සාධාරණත්වය සහ ස්වාධීනතාව පිළිබඳ බටහිර දාර්ශනික සංකල්ප අතරින් රිංගා ලෝක ආධිපත්‍ය සඳහා තරග කිරීමට හැකි එකම ක්‍රමය මෙයයි. දැනට එම ලෝක ආධිපත්‍ය සඳහා තරග කළ නොහැකි රටවලට උපරිම වශයෙන් කළ හැක්කේ, එක බලවතෙක් වෙනුවට තව බලවතෙක් හෝ යම් සන්ධානයක් තෝරා ගැනීමට පමණයි. ස්වාධීනව පැවතීමට තැත් කිරීමේ අසාර්ථකතාව සෑම සාම්ප්‍රදායික සමාජවාදී සහ ජාතිකවාදී රටක්ම (පැරණි සෝවියට් රුසියාව, සමාජවාදී චීනය, කියුබාව වැනි) පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.

මේ තත්වය යටතේ ඕනෑම සාම්ප්‍රදායික බලවතෙකුට වඩාත්ම ආරක්ෂාකාරී පිළිවෙත විය හැක්කේ කුඩා සමාජ, විශාල සමාජ ඒකක යටතේ අලුතින් සංවිධානය වීම වැළැක්වීමයි; ඒ විශාල ඒකක යළි බෙදා වෙන් කිරීමට සැලැස්වීම යි. ඒ නිසා එක් එක් ජාතීන් අතර අනන්‍යතා අර්බුද සහ රටවල් ඇතුළත අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ඉස්මතු කිරීම ආදිය පසුපස යම් යම් බලවේග සිටිතැයි සැක කිරීමට සිදු වීම සාධාරණයි. මේ ගැටලු ඇති කිරීමට සමාන්තරව, ප්‍රශ්නවලට මැදිවන රටවලට ණය දීම, පහසුකම් සැලසීම ආදිය මගින් යම් යම් ව්‍යාපෘති සඳහා බල කිරීමට සහ වෙනත් රටවල් යැපුම් සීමා ඇතුළත රඳවා ගැනීමට තරගකාරී බලවතුන් නිතරම උත්සාහ කරනවා. ඒ අර්ථයෙන් අද ලෝකය පුරා පැතිර යන ජාතිකවාදී රැල්ල සේවය කරන්නේත් සාම්ප්‍රදායික බලවතුන්ගේ ආරක්ෂාව හෝ පැවැත්ම සඳහා පමණයි.

දැනට පැරණි ඉතිහාසය යළි අරමුණු සහගතව නිර්මාණය කරමින්, පැරණි ක්‍රම පිළිබඳ අතීතකාමය පතුරවමින්, ඇතුළට හැරුණු අනන්‍යතා පිළිබඳ ප්‍රවාද පැතිරෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි. පුරාවෘත්ත ගොඩ ගැනීම සහ විද්‍යාව පිළිබඳ තමන්ගේම අතාර්කික මුරණ්ඩු ප්‍රවාද ගොඩ නැගීම, දකුණු ඇමරිකානු රටවලත්, අප්‍රිකානු රටවලත්, ආසියාවේ බොහෝ රටවලත් රැල්ලක් සේ ඉස්මතු වී තිබෙනවා. ඒ සෑම රටකම ජාතිකවාදීන් සිතන්නේ තමන්ගේ පැරණි චිත්තනය සහ තාක්ෂණය, විද්‍යාත්මක ක්‍රමයට වඩා සහ ලෝකයේ වෙනත් සියලුම ක්‍රමවේදයන්ට වඩා උසස් දාර්ශනික එකක් බවයි. නමුත් මේ සෑම ප්‍රචාරයක්ම විද්‍යාත්මක තාක්ෂණයේ සහ පහසුකම්වල සෙවණ යටතේ සිදුවීම ලොකුම ලොකු උත්ප්‍රාසයක්. යම් යම් රටවල එවැනි දේශීය ව්‍යාපෘති සඳහා බටහිර රටවල්, රුසියාව, සහ චීනය සම්පත් සැපයීම තවත් උත්ප්‍රාසයක්.

ඒ වගේම බටහිර රටවල්වල, නිතරම පෙරදිග නිරූපණය වෙන්නේ ස්වාභාවිකත්වය, ප්‍රාථමිකත්වය, අතාර්කිකත්වය කියන සංකල්ප ඇතුළේ. බටහිර බහුතරය මේ වටිනාකම් ඔවුන් ලඟ නැති දේ හැටියට හඳුනා ගැනීමට, තහවුරු කර ගැනීමට කැමතියි. ඊට එකඟ වීමෙන් තමයි අපේ පැවැත්ම දැනට බොහෝ විට රුඳෙන්නේ. නිදසුනක් හැටියට සංචාරකයින් වෙනුවෙන් ඇත්තටම දැන් නොකරන බොහෝ දේ සංවිධානය වෙන්නේ සහ පවත්වා ගෙන යන්නේ (රිටි මත මාළු බෑම වැනි යල්පැන ගිය වෘත්තීය ක්‍රම, යම් යම් ගැමි සම්ප්‍රදායන් සහ අභිචාර ක්‍රම වැනි දේ) මේ අර්ථයෙන්. අපි අපේ ජාතිය, සංස්කෘතිය කියන සංකල්ප පවා ගොඩ නගාගන්න හදන්නේ ප්‍රාථමිකත්වය, ස්වභාවිකත්වය, අතාර්කිකත්වය කියන බටහිර බහුතරය අපිව දැකීමට කැමති අච්චුවට අනුවයි. ඒ නිසා අපි මේ දේවල් පවත්වා ගෙන යාම, ඒ දේවල් මත ආර්ථිකව සහ දේශපාලනික වශයෙන් සංවිධානය වීම අහම්බයක් නෙමෙයි; එය පැවැත්ම වෙනුවෙන් දී ඇති තත්වවලට එකඟ වීමේ ක්‍රමයක්; අපි විරෝධය දක්වන බටහිර චින්තනය මත ම අවිඥානිකව යැපීමක්.

මේ පසුබිම යටතේ නූතන ජාතිකවාදය කරන්නෙත්, ජාතිය පිළිබඳ සංකල්ප පහළ වූ යුගයේ දී මෙන්, කුඩා ජන සමාජ, විශාල ජන සමාජ යටතට ගෙන ඒම යැයි සිතීම පරස්පරයි. පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් කුඩා ජන සමාජ විශාල ජන සමාජවල බහාලීම කියන්නේ නොනවතින ක්‍රියාවලියක්. එය පවුල, වරිගය, කුලය, ගෝත්‍රය, ජාතිය ආදි වශයෙන් වැඩෙන අතර එක් ස්ථානයකින් නැවතිය යුතුය යන අදහස නිතරම සීමාකාරීයි; නැත්නම් වංචනික යි. වරිගය, කුලය, ගෝත්‍රය යනු එවැනි ජන ඒකක නතර විය යුතු සීමා ලෙස අපි වටහා ගත්තා නම් ඒ ඒකක ඉක්මවා යන ජාතිය කියන සංකල්පයට ඉඩක් ලැබෙන්නේ නැහැ. පුද්ගල නිදහස පිළිබඳ වඩාත් හිතකර තත්ව සඳහාත් මේ සංවිධානගත ඒකක පුළුල් කිරීම අත්‍යවශ්‍ය යි. ඒ නිසා ජන සමාජවල පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන්, ජාතියෙන් එහාට ගිය වඩාත් පුළුල් සංවිධානය වීම් ඉල්ලන යුගයක, ජාතිකවාදය යනු ජාතිවාදයම යි.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...