චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...




චින්තනගේ කාල් මාක්ස් කියවීම ඉදිරියටම යනවා. ලංකාවේ වමේ, දකුණේ සහ ස්වාධීන යැයි හිතන අයත් තම ‘නැණ’ පමණ ඒකට ප්‍රතිචාර දක්වනවා. අපි කැමති වුණත් නැතත් කාල් මාක්ස් ලෝක සංස්කෘතියේ නිවා දැමිය නොහැකි ගිණි පුපුරක්. ලන්ඩනයේ ඕනෑම සංචාරක පත්‍රිකාවක ම වගේ ඔහුගේ ලන්ඩන් ජීවිතය සහ ස්මාරකය ගැන විස්තර වෙනවා. ලෝකයේ සෑම රටක ම වගේ විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශවල සුජෘව හෝ වක්‍ර ප්‍රතිචාර හැටියට හෝ ඔහු ඉන්නවා. දේශපාලන පාර්ශව ඔහු කියවමින්, ඔහුට එරෙහි වෙමින්, ඔහු විකුණමින් සංවිධානය වෙනවා. අපි ඔහුට එකඟ වීම හෝ එරෙහි වීම නොතකා‍ විසි වෙනි ශතවර්ෂයේ සිට ඕනෑම දාර්ශනික අදහසකට මාක්ස්ව මග හැර යා නොහැකි බව පැහැදිලි යි.

සාමාන්‍යයෙන් අපිට මාක්ස්ව මුණ ගැහෙන්නේ එක්කෝ වමේ ව්‍යාපාරවලින්; නැත්නම් දකුණේ විවේචනවලින්. මේ හැම තැනකදි ම මාක්ස් අපිට පේන්නේ යම් කිසි අරමුණක් වෙනුවෙන් කළ අර්ථ දැක්වීමක් විදිහට. බොහෝ වෙලාවට මේ අර්ථ දැක්වීම් අනුව තමයි අපි මාක්ස්ට කැමති හෝ විරුද්ධ වෙන්නේ. හැම දාර්ශනිකයෙක්ම අපිට මුණ ගැහෙන්නේ ඒ විදිහට. බුදු දහම වුණත් එහෙම යි. ගමේ සමහර ආච්චිලා මාක්ස්ගේ එංගල්ස්ගේ පින්තූර චේගුවේරා කාරයින්ගේ පින්තූර විදිහට අඳුර ගන්නෙත්, බටහිර සමහරු බුදු පිළිම පෙරදිග දේව පිළිම විදිහට අඳුර ගන්නෙත් එහෙම යි.

අපිට ඕනැම දාර්ශනික මතයක් ඕනැම විදිහකට තේරුම් ගන්න පුළුවන්. ඒ හැම මොහොතකම ඒ තේරුම් ගැනීම අපේ අර්ථ දැක්වීමක්. ඒ වගේ ම ඒ අර්ථ දැක්වීම තීරණය වෙන්නේ අපේ තියෙන සමාජ-දේශපාලනික දැණුම, පුරුදු සහ ඒ මොහොතේ අරමුණු ආදිය එක්ක. නමුත් බුදුන් හෝ මාක්ස් අදහස් කළ දේ අපේ අර්ථ දැක්වීම ම බව පෙන්නන්න අපි කරන උත්සාහය බලය වෙනුවෙන් කරන අරගලයක උපක්‍රමශීලී කොටසක්; මේක සංකේතීය චරිත එක්ක බැඳුණු වටිනාකම්, සමාජ පිළිගැනීම හෝ ඔවුන්ට තියෙන විරෝධය අපේ වාසියට පෙරළා ගන්න කරන උත්සාහයක්. 

සාමාන්‍යයෙන් කියවන්නා ලේසියෙන් මේ උගුලට අහුවෙනවා. මේ ගැටලුව තරමක් විසඳ ගන්න, කියවන කෙනාට අර්ථ දැක්වීම සහ මුල් අදහස අතර සන්සන්දනයක් කර ගන්න, ශ්‍රාස්ත්‍රීය ගවේෂකයින් නොයෙක් විසඳුම් ඉදිරිපත් කරනවා. ඉස්සර විදිහට ශ්‍රාස්ත්‍රීය ලිපි ලේඛණ කර්තෘ හංගමින් ඉබේ ලියවී ඇති ආකාරයට ලිවීම දැන් පිළිගන්නේ නැහැ. කතෘ ආත්මීයව, එළිපිට, තමන්ගේ මතය ඉදිරිපත් කළ යුතු යි. ඒ හැම තිස්සෙම සත්‍යය ගැන අපි ඉදිරිපත් කරන්නේ අපේ දැක්මක් බව අවංකව පිළිගැනීමක්. ලංකාවේ වමත්, දකුණත්, ආගමිකයොත් සන්නිවේදනයේදි තවම මේ පිළිවෙත පිළිගන්න අකමැති යි; තමන්ගේ මතය පරම සත්‍යය හැටියට බලෙන් කාවැද්දීමට තැත් කිරීම තමයි සුලබ ක්‍රමය. නමුත් දැණුම සහ තොරතුරුවලට දොරටු විශාල ගණනක් ඇරෙමින් තියෙන අද කාලේ මේක තමන්ගේ විශ්වාසනීයත්වය බිඳදමා ගත හැකි පහසු මගක් විතර යි.

මාක්ස් ගැන වුණත් අපේ ප්‍රවේශය වෙනස් විය යුත්තේ ඒ නිසයි. උනන්දුවක් තියෙනවා නම් පවතින අර්ථ දැක්වීම්වලින් යම් තරමකට හෝ මිදිලා මේ තරම් ආදරයට හෝ පිළිකුලට ලක්වෙන මිනිහෙක් ගැන මුල ඉඳන් හොයන්න අපිට බැරි කමක් නැහැ. ඒ වගේ ම අපිට මාක්ස් තමන්ගේ කණ්නාඩියෙන් පෙන්නන්න හදන කීප දෙනෙක් විතරක් තෝරා ගන්නවා වෙනුවට, හැකි හැම කණ්නාඩියකින් ම බලලා ඔහු කියන්න ඇත්තෙ මොකක්ද කියලා අපේ ම තක්සේරුවක් හදා ගන්න එක ප්‍රයෝජනවත්. මේ ඒ වෙනුවෙන් කෙරෙන මගේ කියවීමක්. මම මාක්ස්වාදී සාහිත්‍යය කියවන්නේ ඒ පිළිබඳව මට ගැටලු එන විදිහට, ඒ ගැටලු විසඳා ගැනීමේ ප්‍රායෝගික අරමුණ සහිතව, තෝරා ගැනීමක් යටතේ පමණක් බවත් සටහන් කරන්න කැමති යි; මගේ කියවීමෙත් දුර්වලතා තියෙනවා.

චින්තනගේ මතවාද තාර්කිකත්වය සහ අතාර්කිකත්වය අතර නිතර දෝලනය වීමක් මම දකිනවා. විටක ඔහු රූසෝ හරි නීච හරි වගේ ප්‍රාථමික සමාජය ගැන, අතාර්කිකත්වය ගැන සිහින ඉදිරිපත් කරනවා. නමුත් ආයෙත් ඔහු නාගරික සමාජය වෙනුවෙන් හෝ පරිභෝජනය වෙනුවෙන් පෙනී සිටිනවා. කියවීමට එරෙහි වෙන අතරේ ඔහු පොත් ලියනවා; බ්ලොග් ලියනවා. එහෙම නැත්නම් චින්තන එරෙහි වෙන්නේ ඔහු අකමැති එක්තරා කියවීමකට පමණක් වෙන්න පුළුවන්; ඔහු කැමති කියවීමකට මේ විරෝධය නැති වෙන්නත් පුළුවන්. ඒක සමස්තයක් හැටියට අතාර්කිකත්වයක් ම තමයි. ඒත් මෙවැනි පරස්පරයක් වරදක් විදිහටම දැකීම පටු දැක්මක්. අපි හැමෝම තවම ගමේකම සහ නාගරිකත්වය අතර, එහෙම නැත්නම් ප්‍රාථමිකත්වය සහ ශිෂ්ටාචාරය අතර දෝලනය වෙන අය. නමුත් අපි මේක පරස්පරයක් විදිහට හඳුනගන්න එක වැදගත් කියලයි මට හිතෙන්නේ. චින්තනගේ අදහස් බොහෝ වෙලාවට සංවාද අවුළුවන බවත්, වක්‍රව හෝ සෘජුව ඒවා ප්‍රයෝජනවත් බවත් ප්‍රතික්ෂේප කිරීම කුහකකමක් විතරයි. ඒ නිසා චින්තනගේ අදහස් මග හැරීම තේරුමක් නැති දෙයක්. අපි කැමති වුණත් නැතත් චින්තනට අදහස් පළ කරන්න පුළුවන්. ඒ අදහස් එක්ක එකඟවෙන්න හෝ පැහැදිලි කිරීමකින් විරුද්ධ වෙන්න හෝ ඒවා තක්සේරු කරන්න තව කෙනෙකුට පුළුවන්. තර්කයක් නැති බැණ වැදීම්, නින්දා කිරීම් කියන්නේ එක්තරා අසරණ කමක්; මිනී පිට්ටනි හරහා තමන් මහසෝනාට බය නැති බව කියමින් සරම උස්සගෙන කුණුහරුප කියමින් දුවන මිනිස්සු මහසෝනාට බය බව තමයි පිළිගන්න වෙන්නේ.

චින්තන පළමු කෙටි සටහනේ මූලික කරුණු දෙකක් මතු කරනවා. ඉන් පළමුවැන්න ‘ශිෂ්ටාචාරය පටන් ගත්ත තැන ඉඳන් මිනිස්සු ජීවත් වුණු සාමාන්‍ය විදිහ දිගටම සිදුවූ අඛණ්ඩ ගලා යාමක් විදිහට අපි තේරුම් ගත යුතුයි’ වගේ අදහසක්. දෙවෙනි අදහස ‘මේ සමස්ත විදිහ මාක්ස් කැපිටලිසම් නමින් අරමුණු සහගතව නම් කළත්, කැපිටලිසම් කියන එක ඇත්තට ම ලෝකෙ පවතින දෙයක් නොවන’ බව. චින්තන ඇත්තටම මොනවා අදහස් කළත් මට පේන විදිහට මේ ඉදිරිපත් කිරීමේ පරස්පර කීපයක් තියෙනවා. 

පළමුවෙන් ම මාක්ස් නම් කැපිටලිසම් විදිහට නම් කරන්නේ ශිෂ්ටාචාරය පටන් ගත්ත තැන ඉඳන් ඔහුගේ යුගය දක්වා ගලා ආ යමක් නොවන බව ගැටැලුවක් නැති තරම් පැහැදිලි යි. ඔහු මානව ඉතිහාසය, නිෂ්පාදන සම්බන්ධතා අනුව සීමා අපැහැදිලි යුගවලට බෙදීම බාර ගත්ත දාර්ශනිකයෙක්. කැපිටලිසම් හෙවත් ප්‍රාග්ධන යුගය හැටියට ඔහු අඳුන ගන්නේ තාක්ෂණය වේගයෙන් දියුණු වූ දහහත්වෙනි ශත වර්ෂයේ ආරම්භ වූ, දහඅටවෙනි ශතවර්ෂයේ තීව්ර වූ, ප්‍රාග්ධන අයිතිය රජයෙන් සහ සම්ප්‍රදායික උරුමයෙන් නිදහස් වූ, පරිභෝජනය මූලික වූ, නූතනත්වය එක්ක බැඳුණු ක්‍රියාදාමයක්. එහෙම නම් චින්තන අදහස් කරන්නේ මාක්ස් අඳුනා ගන්නා මේ වෙනස් කඩඉම් බෙදීම ප්‍රතික්ෂේප කළ යුතු බව වෙන්න පුළුවන්. ඒ අදහස බාර ගත්තොත් මානව ශිෂ්ටාචාරය කියන්නෙ, පරිණාමය වෙන පියවර වෙන් කළ හැකි ක්‍රියාදාම ගොන්නක් වෙනුවට, අඛණ්ඩ ගලා යාමක්.

නමුත් අපි අඛණ්ඩත්වය පිළිබඳ අදහසක් මතු කරනවා නම් එය ඩාවින්ගේ පරිණාමවාදය වගේ එකක් විය යුතු යි; ඒකට ශිෂ්ටාචාරයෙන් සලකුණු කළ හැකි කඩඉමක් තියෙන්නත් බැහැ. ශිෂ්ටාචාරය කඩඉමක් හැටියට බාර ගන්නවා නම් වෙනත් කඩ ඉම් සළකුණු කිරීමත් බාර ගන්න වෙනවා. හැබැයි තමන්ගේ මේ අඛණ්ඩත්වය ගැන න්‍යාය චින්තන ම ඔහුගේ දෙවෙනි බ්ලොග් ලිපියෙන් එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. ඒ ලිපියේ වැඩි කොටසක් වෙන් වෙන්නේ දහඅටවෙනි ශතවර්ෂයේ මතු වූ පරිභෝජනවාදී යුගය, ඊට පෙර තිබුණු නොදියුණු දුප්පත් ප්‍රාථමික ක්‍රමවලින් සම්පූර්ණයෙන්ම වෙනස් දියුණු එකක් බව පෙන්වීමට. චින්තන කැමති වුණත් නැතත් ලෝකේ ‘කැපිටලිසම්’ නැත්නම් ‘ධනවාදය’ නමින් හැඳින්වෙන්නේ මේ යුගය.

මේ ලිපියේ දී ත් චින්තනගේ අවධානය යොමු වෙන ප්‍රධාන කාරණා කීපයක් හඳුනා ගන්න පුළුවන්. පරිභෝජනවාදය වර්ණනා කිරීම; මාක්ස් පරිභෝජනවාදය ප්‍රතික්ෂේප කළ බව; ධනවාදී යුගයේ දී නිෂ්පාදනය තාර්කිකව කිසිවෙකු විසින් පාලනය කරනවා යැයි මාක්ස් පවසා ඇති බව ආදිය මින් කිහිපයක්. නමුත් මේවා පැහැදිලිව ම සාම්ප්‍රදායික වමේ මතවාද මිසක් මාක්ස්ගේ අදහස් නෙමෙයි. මෙතනදී මේ සටහන ශාස්ත්‍රීය හෝ නිල ලේඛණයක් නොවන නිසා මාක්ස් වචනයෙන් වචනයට උපුටා දැක්වීමට මගේ කැමැත්තක් නැහැ; මාක්ස්ගේ මුල් ලේඛණ දැන් සුලබ නිසා කරුණු තහවුරු කර ගැනීමේ ගැටලුවකුත් නැහැ. ඒ පිළිබඳ මගේ අදහස නම් මාක්ස් තරම් ලස්සනට පෙර යුගයන්ට වෙනස්ව පරිභෝජනවාදය සහ ධනවාදී යුගය ආදරයෙන් වර්ණනා කළ කෙනෙක් නැති බව යි. විශේෂයෙන් මේ වර්ණනා ධනවාදය පවත්වා ගැනීම වෙනුවෙන් කරන ඒවා නොවන නිසා ඔහුගේ විස්තර කිරීම් සංවේගයකින් සහ කලාත්මක කම්පනයකින් යුක්ත යි. නිෂ්පාදනය සහ තාක්ෂණ දියුණුව අසිරිමත් විදිහට වැඩි කිරීම, පරිභෝජනය විවෘත කිරීම මගින් මානව ආශා සහ බලාපොරොත්තු පුබුදු කිරීම, ඒ මගින් මානව පරිණාමය අලුත් ඉසව් දෙසට යොමු කිරීම ආදී ලක්ෂණ සහිත ශිෂ්ටාචාරයේ මෙතෙක් පහළ වූ හොඳම ක්‍රමය විදිහටයි මාක්ස් මේ යුගය විස්තර කරන්නේ. මාක්ස් පරිභෝජනය හෙළා දැකපු සදාචාරවාදියෙක් බවට පත් කරන්නේ පටු සමාජවාදීන් සහ දේශීයත්වය හෝ ආගම මත පදනම් වූ, මාක්ස්ගේ රූප අරගෙන පෙරහැරේ යන මාක්ස් විරෝධී ගමේ වම විසින්; කොමියුනිස්ට් ප්‍රකාශනයේ පවා මාක්ස් සහ එංගල්ස් මේ සදාචාරවාදී සමාජවාදීන්ව තදින් විවේචනය කරනවා; චින්තන මාක්ස්ව දකින්නෙත් මේ ගමේ වමේ කණ්නාඩිය තුළින් වීම අවාසනාවක්.

මාක්ස්ට ශත වර්ෂ දෙකකට පමණ පෙර සිට ම ආර්ථිකවේදීන් බොහෝ දෙනෙක් කැපිටලිසම් යන යෙදුම භාවිතා කළ නිසා එය මාක්ස්ගේ නම් කිරීමක් විදිහට හැඳීන්වීමත් කරුණු විකෘති කිරීමක්. එහි යාන්ත්‍රණය විස්තර කිරීමට මාක්ස්ට පෙර සහ පසුව බොහෝ දෙනා උත්සාහ කළත්, මාක්ස්ගේ ගවේෂණාත්මක කරුණු එක්ක කළ දිග පැහැදිලි කිරීම් ඔහුගේ විරුද්ධවාදීන් සහ විචාරකයින් පවා අද දක්වාත් අගය කෙරෙනවා. ප්‍රාග්ධනය අධ්‍යයනය මාක්ස්ගෙන් නතර නොවී අද දක්වාමත් ඉදිරියටත් වැඩෙන විෂයක්. 

ඒ වගේම මාක්ස්ගෙන් ධනවාදයට එන විචාරය එන්නේ එය දිගටම පවත්වා ගත හැක්කක් නොවේය යන ඔහුගේ වැටහීමෙන් පමණයි. ඔහු කියන්නේ ප්‍රාග්ධනය  කිසිවෙක් තාර්කිකව පාලනය කරන ප්‍රපංචයක් නොවී, පාලනයෙන් තොරව, අතාර්කිකව පාලනය වෙන ප්‍රපංචයක් බවට පත් වෙමින් තිබෙන බව යි; ඒ අනුව වෙළඳපොළ ආර්ථිකයක ‘බොස්ලා’ පාරිභෝගිකයින් විදිහට හෝ ව්‍යාපාරිකයින් විදිහට පෙනීම දෘශ්‍යමානයක්. වෙළඳපොල, ප්‍රාග්ධනය එක් රැස් කිරීමේ අතර්කණය විසින් පාලනය වෙන බව තමයි මාක්ස්ගේ අදහස. ඒක යම් අවස්ථාවකින් පසු, අපිට වැඩකට නැති, යල් පැනගිය අරමුණක් වෙනුවෙන් සිදුවෙන පාලනයක් විදිහටයි මාක්ස් දකින්නේ. ඕනෑම අලුත් ක්‍රමයක යාන්ත්‍රණය හැදෙන්නේ පවතින ක්‍රමයේ සීමා ඉක්මවන්න. නමුත් අලුත් ක්‍රමයේ අස්වැන්න එක්ක අවශ්‍යතා විශාල වෙනවා; තව දුරටත් ඉදිරියට යන්න ක්‍රමයේ යාන්ත්‍රණය ප්‍රමාණවත් නැති වෙනවා; ක්‍රමය යල් පනිනවා. නෑමෙන් පසුත් කරාමය ඇර තැබීමක් වගේ දේකට හෝ ළමයෙක් ලොකු වෙනකොට සපත්තු මාරු කිරීමේ අවශ්‍යතාව වගේ දේකට හෝ අවශ්‍ය නම් එය සමාන කරන්න පුළුවන්. එතකොට ධනවාදය වෙනුවෙන් පෙනී ඉඳීම, දෙපා ලොකු වෙද්දි, ඇඟිලි හිර වෙද්දි, පරණ සපත්තු ගලවලා දාන්න තියෙන අකමැත්ත වගේ දෙයක්. ප්‍රාග්ධනය වටේ කැරකෙන ක්‍රමයත් වෙනස් වෙනවා වගේ පෙණුනට, ඒක මදය වෙනස් නොවී එළියෙන් වෙන වෙනසක්. සැබෑ ක්‍රම වෙනසක් කියන්නේ චින්තන පැහැදිලි කරන විදිහට ම දහඅටවෙනි ශත වර්ෂයේ වුණා වගේ මදයෙන් ම වෙන උඩු යටිකුරු කරන වෙනසක්. මාක්ස්ට නම් ඒක නිෂ්පාදන සම්බන්ධතාවලින් ම වෙන වෙනසක්.

ලන්ඩනයේ පාන් වෙළඳාම ගැන චින්තන ඉදිරිපත් කරන ප්‍රශ්නය මේ අතාර්කික පාලනය එක්ක සම්බන්ධ යි. ඇත්තට ම බැලුවොත් නගර සැලසුම් ශිල්පියෙක් වගේ ආර්ථික දැණුමක් නැති කෙනෙක් ලන්ඩනයේ පාන් වෙළඳාම ගැන හිතන විදිහට සිතීම ප්‍රායෝගික නැහැ. මේ නගර සැළසුම් ශිල්පියා වෙළඳ පොළට ගියොත් ඔහුට එහි විවිධ වෙළඳ නාමවලින් එන පාන් දැකිය හැකි යි. මේ නිසා චින්තනට වගේ ම පාන් වෙළඳාම පාලනය කරන කිසිවෙක් නැහැ කියන නිගමනයට ඔහුට ලේසියෙන් එන්න පුළුවන්. මාක්ස් සැබෑ නිෂ්පාදන සම්බන්ධතා වැසී යනවා කියලා අදහස් කරන්නේ මේ තත්වය යි. නගර සැළසුම් ශිල්පියා නොදන්නා දේ මේ බොහෝ වෙලඳ නාමවලින් එන තරගකාරී පාන් බේකරි අයිති, තනි දැවැන්ත ආයෝජන-පරිපාලන සමාගම් පවතින බව යි; අලුතෙන් වෙළඳ පොළට එන දියුණු වෙන ඕනෑම තරගකාරී බේකරියක් ඔවුන් මිලට ගන්නා බව යි. මේ සෑම සමාගමකට ම ආයෝජන සපයන මූල්‍ය ආයතන අන්තිමට මව් සමාගම් කීපයකට විතරක් අයිති බව යි. සෑම වෙනස් පාන් වර්ගයක් ම එකම සමාගමකට අයිති වුණහම ඇත්තට ම පාන්වල තත්වය ඉහළ දැමීම, අලුත් වට්ටෝරු සොයා යාම අවශ්‍යතාවයක් නෙමෙයි. ඒවා අතර කෘතිම තරගයකින් ලාබ ඉහළ දැමීම තමයි අවශ්‍ය වෙන්නේ. ඊලඟට විවිධ මිළවලින් විවිධ තත්වයේ පාන් ඉදිරිපත් කිරීමෙන් වෙළඳපොළ පන්තිවලට කඩලා සමතුලිතතාවක් ඇති කෙරෙනවා. ඉහළ තත්වයේ පාන් ගන්න ලැබෙන්නේ සමාජයේ එක කොටසකට විතර යි. ලන්ඩනයේ නම් ප්‍රසිද්ධ ම පාන් වෙළඳ නාම විස්සකට වැඩි ගණනක් සහ බරපතල වෙළඳපොළ ප්‍රතිශතයක් අයිති ප්‍රිමියර් ෆුඩ් කියන සමාගමට.

මේක වෙන්නේ ඒ මව් සමාගම්වල පාලකයින්ට හෝ ව්‍යාපාරිකයින්ට හෝ අවශ්‍ය විදිහටයි කියන එක තවත් ගමේ වමේ අදහසක්. නමුත් මාක්ස් කියන්නේ ඒක මෙහෙයවන්නේ ලාභ උපරිම කිරීම සඳහා වන ප්‍රාග්ධනයේ අතාර්කිකත්වය මගින් බව යි. මේක කර්මාන්තශාලවක දැවැන්ත සංකීර්ණ production line එකක් ක්‍රියාත්මක කර ඇති විට සිදුවන ක්‍රියාදාමයට සමාන යි. යන්ත්‍රය ක්‍රියාත්මක වී ඇති තුරු සියළුම අය එහි දිගට ම යාන්ත්‍රිකව වැඩ කළ යුතු යි; තනි තනි අයට නික්ම යාමක් හෝ වෙනසක් කරන්න බැහැ. මේ ක්‍රමය තේරුම් ගැනීමට ලෝකයේ දේපළ හිමි ව්‍යාපාරිකයින් සුළු පිරිස දෙස ඉරිසියාවෙන් හෝ භක්තියෙන් බැලීම වෙනුවට, ඒ අයගේ පාලනයෙන් පවා මිදී සිදු වෙන ධනය එක් රුස්වීමේ යාන්ත්‍රණය දෙස බලන්න වෙනවා. ඒ එකතු වෙන ධනයෙන් ඉතා සුළු ප්‍රමාණයක් විතරයි ඒ අයගේ සැබෑ ප්‍රායෝගික භාවිතයට ගැනෙන්නේ. ඔවුන්ගේ දේපළවල, ව්‍යාපාරවල සේවයේ ඉන්න අයට ඉතා සුළු ආදායමක් බෙදී යන අතර, ඉතුරු ධනය සහ සම්පත් ප්‍රයෝජනයට ගැනෙන්නේ නැහැ. නමුත් පහසුකම්, ආහාර, බෙහෙත්, අධ්‍යාපනය අහිමි බිලියන ගණනක් නිෂ්පාදන ක්‍රියාවලියේ පහළ මට්ටම්වල හෝ ඉන් එළියේ හෝ ඉන්නවා. 

උදාහරණයක් හැටියට රට රටවල දේපළ, සුපිරි නිවාස, සුපිරි වාහන සහ ගුවන්යානා අයිති අන්තර්ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙක් මේ සුපිරි මාලිගා හෝ වාහන සියල්ල ඇත්තට ම භාවිතා කරන්නේ නැහැ. ඒවා වැඩි කාලයක් වසා දමා හෝ සංකේතීය වත්කම් හැටියට පමණයි පවතින්නේ. දියුණු රටවල ධනය පවා මේ වගේ සංචිත හැටියට, සංකේතීය වටිනාකම් හැටියටයි පවතින්නේ. ඒවා ප්‍රායෝගිකව ප්‍රයෝජනයට නොගැනෙනවා වගේම, ඒ රටවල ආහාර වුණත් ටොන් ගණන් අපතේ යැවෙනවා. ලන්ඩනයේ පමණක් විශාල හෝටල්වල, දිනකට විසි කර දැමෙන පෘතුවියේ සෑම තැනකින්ම ආනයන කරන ලෝකයේ හොඳම ආහාර තොගවල ප්‍රමාණය අපිට සිතා ගැනීමටවත් නොහැකි යි. ඒවා සංකේත ධනයේ අනුහසෙන්, ගෙවිය හැකි මිළ ඉහළින් තියා ගෙන, පහළ මට්ටම්වල අයගේ පරිභෝජනයෙන් ඉවත් කර ගත් පරිභෝජන භාණ්ඩ. මාක්ස් කියන්නේ අපේ පාලනයෙන් මිදුණු යම් අතාර්කික ක්‍රමයකට අපි යළිත් වහලුන් වී ඇති බව යි. අතාර්කික ක්‍රමයක් මගින් ශිෂ්ටාචාරය පාලනය වීම උත්කර්ෂයට නැගිය හැකි සුන්දර දෙයක් විදිහට මාක්ස් දකින්නේ නැහැ. පරිණාමයේ යම් යම් අවස්ථාවල අසාර්ථක ක්‍රමයකට හුරු වීම නිසා, ඒ ක්‍රමය වෙනස් කර ගැනීමට නොහැකි වීම නිසා, යම් යම් සත්ව ගහණ වඳ වී ගිය හැටි අපිට පේනවා. පාලනයේ යාන්ත්‍රණය අපෙන් ගිලිහීම නිසා ප්‍රාග්ධනය හිමි සහ අහිමි දෙකොටස ම පරිභෝජනය අහිමි වෙන අර්බුදයක් කරා මේ යුගය ගමන් කරන බව යි මාක්ස්ගේ මතය. ඒ නිසා තව දුරටත් ධනවාදය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ එක්තරා පියවරක් දක්වා පරිභෝජනය සහ සම්පත් එක් පිරිසකට හිමි කර ගැනීමත්, අවසානයේදී කාටත් නැති කර ගැනීමක් විදිහටයි මාක්ස් දකින්නේ. නමුත් මීට ශත වර්ෂ කීපයකට පෙර නම් ධනවාදය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ ප්‍රගතිශීලී වැඩක්.

ඔහු සිතූ තරම් ඉක්මනට ධනවාදය බිඳ නොවැටුනු බවත්, ක්‍රමය යළි යළිත් ප්‍රතිසංවිධානවලින් ශක්තිමත් වෙමින් ඉදිරියට යන බවත් ඇත්ත නමුත්, එය දිගටම පවතින පරිපූර්ණ ක්‍රමයක් බව සිතීම සීමාකාරී අදහසක්. අණ්ඩ දමා දමා ඉඳීමයි, අලුත් පන්නයේ සපත්තුවලට මාරුවීමයි කියන්නේ දෙකක්. මීට පෙර වහල් සහ වැඩවසම් යුගවලටත් මතවාදී ආරක්ෂකයින් සිටි බවත්, ප්‍රතිසංවිධාන සිදුවූ බවත්, ඒ නොතකා ඒ යුග පෙරළී ගිය බවත් අපිට ඉතිහාසය පිරික්සීමෙන් තේරුම් ගන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රමාණවලින් භාණ්ඩ මුදා හැරීමත්, අවශ්‍ය භාණ්ඩ වෙළඳ පොළේ හිඟ වීමත්, ඒවා මිලට ගැනීමට හැකියාව නැති වීමත් යන වෙළඳ පොළ පරස්පරතා ප්‍රාග්ධන යුගය එක්ක මාක්ස් අනුමාන කළ අනාගත අතුරු ප්‍රතිපල. මේවා ජය ගන්නත්, වැඩි පිරිසකට පරිභෝජනයේ සතුට ලබා දෙන්නත් ඊට පෙර යුගවල යාන්ත්‍රණය වෙනස් වූ විදිහට ම නිෂ්පාදන සම්බන්ධතා පිළිබඳ වෙනත් යාන්ත්‍රණයකට අපි මාරු විය යුතු බවයි මාක්ස් යෝජනා කරන්නේ. 

සමහර විට ඊලඟට එන ක්‍රමයට ඔහු යොදා ගන්න ‘කොමියුනිස්ට් තත්වය’ කියන යෙදුම අපිට පිළිකුල් වීම ලෝක සමාජවාදී ව්‍යාපාර පිළිබඳ නරක අත්දැකීම් එක්ක එන තවත් අතුරු ප්‍රතිපලයක්. ඒ විරෝධය මාක්ස්ට එල්ල කිරීම ‘සිංහල බෞද්ධ’ දර්ශනයට බුදුන්ට දොස් කීම හා සමාන යි. නමුත් ප්‍රාග්ධන යුගය පෙර යුගවලින් තියුණු වෙනසක් වූ යුගයක් නම්, ඊට වඩා තියුණු විදිහට වෙනස් වෙන තවත් ඉහළ යුගයක් ගැන සිතීම වැරැද්දක් නෙමෙයි. ඒක අඛණ්ඩව තිබුණු ක්‍රමය විදිහට ම දැකිය යුතුයි යන අදහස චින්තනගේ යුග බෙදීමේ අලුත් තර්කයෙන් ම ප්‍රතික්ෂේප වෙනවා. අලුත් යුගය ගේන විදිහ සහ එහි ස්වරූපය මාක්ස් මවා ගන්නා ආකාරයමද කියන එක මාක්ස්ට නොලැබුණු දත්තත් එක්ක තීරණය කරන එක අපේ වැඩක්. මාක්ස් මේ නොයෙක් යුගවලට නම් දැමීම නිසා ඒ යුග බිහිවුණා වගේ අදහසක් සහ ඒ යුග මාක්ස්ගේ ප්‍රබන්ධ විදිහට දැකීම තේරුමක් නැහැ. වෙන නම්වලින් වුණත්, නම් නැතුව වුණත්, යුගයක යාන්ත්‍රණය තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙන් අපි කාටවත් බේරෙන්න බැහැ.

යුගයෙන් යුගයට මාරු වීම කොහොමත් සිදු වෙන්න නියමිත බැවින් අපි ඊට වදවිය යුතු නැති බව තවත් තර්කයක්. නමුත් වදවීම එක්ක දේවල් ඉක්මන් වෙන බව දැන් අපේ සාමාන්‍ය දැණුමක්. ශිෂ්ටාචාරයේ ඉතිහාසය හොයලා බලනවා නම් සමහර යුග වසර මිලියන ගණනක් වෙනස් නොවුණත්, පසු කාලීනව යුග වෙනස වේගවත් වූ බව පැහැදිලි යි. මේ වෙනස, ඉබේ ලැබෙන දෙයකට වඩා පවතින ක්‍රමය විවේචනයෙන්, විවේචනයට අලුත් දියුණු ක්‍රම ලැබීමෙන් සහ ඒ වෙනුවෙන් වැඩි පිරිසක් එකට එකතු වී වැඩ කිරීමෙන් උදාකර ගත්ත බවත් පැහැදිලි යි. ඒ සටනේ ස්වභාවය ඒ ඒ යුගයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් පැහැදිලි යි. අපි මොන විදිහට අවතක්සේරු කළත් මේ සංවාදයත් එහි කොටසක්.

කවුරුවත් විසින් යෝජනා කරන පිළිවෙළක අසාර්ථක බව ගැන මාර්ග සංඥා එක්ක චින්තන කරන විවේචනයත් වැදගත්. එක අතකින් මාර්ග සංඥා පද්ධති සාර්ථකව ම පාලනය වෙන දියුණු ම අධිවේගී මාර්ග පද්ධතියක් තියෙන එක්සත් රාජධානියේ මාර්ග අනතුරු ප්‍රතිශතය අඩු වීමත්, මාර්ග පාලනය මාර්ග භාවිතා කරන අය අතේ ම තියෙන අප්‍රිකාණු රටවල ඉහළ මාර්ග අනතුරු ප්‍රතිශතයත් චින්තනගේ තර්කයට එරෙහි වෙනවා. මේ කිසි ම කෙනෙකුට වාහන එකට එක හප්පා ගැනීමට අවශ්‍ය නැහැ; අනතුරු සිදුවීමට හේතුව අපේ අරමුණුවලින් එළියේ තියෙන බාහිර සාධක සහ ඒ සාධක හසුරුවන ක්‍රමයේ දුර්වලතා. නමුත් චින්තන කියන විදිහට ම කලින් තීරණය කරන ලද නීති රීති සහ උපකල්පන කොහෙත් ම ක්‍රමයක සාර්ථකත්වයේ රහස නෙමෙයි. ක්‍රමයක් සාර්ථක වෙන්නේ ඒ ක්‍රමය වෙනස් වීමට ඇති හැකියාව සහ එහි අඩුපාඩු විචාරයට ඇති නැඹුරුව එක්ක යි. පවතින ක්‍රමය වෙනස් කිරීමේ අලුත් යතුර හැටියට පරිගණක තාක්ෂණයේ වටිනාකම කියලා නිම කරන්න බැහැ. අනාගත මාර්ග සංඥා පද්ධති සියල්ල ක්‍රියාත්මක වීමට නියමිත වෙන්නේ පුළුල් සජීවී නිරීක්ෂණවලින් සහ ඒ අනුව සජීවිව වෙනස්වෙන පරිගණක හැසිරවීම්වලින්. තව අවුරුදු කිහිපයකින් රියදුරන් නැති මොටර් රථ පැමිණීමත් එක්ක රථවාහන සහ මාර්ග පද්ධතිය එක ම සජීවී, තාර්කික, ගතික පද්ධතියක් බවට පත් වීමට නියමිත යි. මේවා දියුණු වෙන්නේ කවුරු හරි යෝජනා කළ පිළිවෙල, නිරතුරුව ම අලුත් තාක්ෂණය එක්ක වෙනස් කිරීමෙන්.

මාක්ස්ගේ අනාගත තාක්ෂණය ගැන තියෙන විශ්වාසය සහ ඒ ගැන තියෙන සතුට ගැන කියවන විට මාක්ස් අද යුගය ගැන නොදැන සිටීම සහ එහි ප්‍රවණතා දැන ගැනීමට ඔහු වැන්නෙකුට අවස්ථාවක් නොලැබීම ශෝචනීය යි. අපේ පරිණාමය පිළිබඳ බලාපොරොත්තු පෘතුවියෙන් එහාට විහිදුණු වෙනත් ග්‍රහලෝක දක්වා දිව යන්නක්; එය විශ්වය ජය ගැනීමක් සහ විශ්වයේ සීමා පුළුල් කිරීමේ උත්සාහයක්. වැඩි වෙන ජනගහණය පාලනය කිරීම ම වෙනුවට වෙනත් ලෝකවල ජනාවාස ගැන සිතීමයි අවශ්‍ය වෙන්නේ; ඒක කොහෙත්ම අපිට බැරි දෙයක් නෙමෙයි. පැහැදිලිව අඳුනාගත හැකි යුග පිළිබඳ රේඛා අපි අතීතයේ දකිනවා. එහෙනම් විශ්වය ඉලක්ක වූ අනාගත ගමනක් මේ ක්‍රමය ඔස්සේ ම සිදු වෙන්න ඕනෑ කියලා හිතන එක අතාර්කික පසුගාමී බලාපොරොත්තුවක්. සමහරවිට අනාගතයේ ක්‍රමය පෙරළීමේ යාන්ත්‍රණය තනිකර ම තාක්ෂණය වෙන්නත් පුළුවන්. දැනටමත් ප්‍රාග්ධනයේ සමහර අතාර්කික බලපෑම් තාර්කිකව විසඳන්න තාක්ෂණය උදව් වෙනවා. තාක්ෂණය භාවිතයෙන් පොදු ආයෝජන ලබන සාමූහික ආයතන (Crowdfunding) ලාබ අවම කරමින්, භාණ්ඩවල තත්වය උසස් කරන නිෂ්පාදනයේ අලුත් මාන සොයා යාම දැනටමත් පටන් අරන්. නමුත් මේ ප්‍රාග්ධන ක්‍රමය එක්ක ව්‍යාජ පොදු ආයෝජන ආයතන මතුවීම, තරගකාරී ව්‍යාපාරික ආයතන සාමූහික ආයතනවල ආයෝජනය කිරීම, එමගින් ඒවා දුර්වල කිරීමට හැදීම වගේ දේවල් විශාල අනතුරක්.

අද ලෝකයේ සන්නිවේදනය සම්පූර්ණයෙන් ම වගේ පරිගණක තාක්ෂණය යටතේ වුණත්, එය ක්‍රමයක් නැති අතාර්කික පද්ධතියක් විදිහට හඳුනාගැනීම වැරදි යි. හැම තිස්සේ ම ක්‍රමයක් තිබීම සහ ක්‍රමය වෙනස්වීමට ඇති සජීවී හැකියාව තමයි ප්‍රගමණයේ රහස. අපේ සොබාදහමේත්, පරිණාමයේත්, ජීව විද්‍යාත්මක සැකැස්මේ සිට සමාජ-ආර්ථික ක්‍රම දක්වාත් අභ්‍යන්තර යථාර්ථය වෙන්නෙත්, අපේ සටනේ දිශාව විය යුත්තේත් එය කියලයි මට හිතෙන්නේ. ඒ වෙනසක අවශ්‍යතාව නිතර ම දල්වන නිසා තමයි කාල් මාක්ස් ලෝක සංස්කෘතියේ නිවා දැමිය නොහැකි ගිණි පුපුරක් වෙන්නේ.

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...