වික්ටර් ලෙලුම් සහ අපි...






වික්ටර් රත්නායක ගැන ඉස්මතු වූ සංවාදය පුද්ගලික කාරණාවක් කියන එක පටු අදහසක් කියලයි මට හිතෙන්නේ. ඒ තොරතුරු සංවාදයට ගැනීමට අපිට තියෙන අයිතිය එන්නේ වික්ටර් රත්නායක නියෝජනය කළ සංස්කෘතික මතවාදය සහ ඔහුගේ ගීතවලින් වෑහෙන ‘රසය’ අතර තියෙන පරස්පරයෙන්; ගොඩක් අය මතු කරපු විදිහටම මේ රසයට එරෙහිව වික්ටර් රත්නායක කියන සමාජ පෞරුෂය කාලාන්තරයක් තිස්සේ කර ගෙන ගෙන ආ බොරු සදාචාරවාදී අනුශාසනාවලින්; ඒ අනුශාසනා අතහැරලා ජීවිතයේ ඇත්තට මුහුණ දෙන්න වික්ටර් ගත්ත තීරණයෙන්.


වික්ටර්ගේ හැත්තෑවේ දසකයේ මුල් ගායනාවල හඬ, පෞරුෂය, රිද්මය සහ භාවමය ගුණය පද අරුතින් මිදුණු, සමහර අවස්ථාවලදී පසුගාමී පදවලින් පවා නොදැමුණු, ප්‍රතික්ෂේප කළ නොහැකි ශෘංගාරාත්මක රසගුලාවක්. ඒත් සංගීතය, මීවිත, මිතුරු ඇසුර වින්දනය කළ වික්ටර්, අවාසනාවකට වගේ නිරන්තරයෙන්ම නියෝජනය කළේ ඒ සුන්දරත්වයට එරෙහි කුහක, කෘතිම සාදාචාරවාදයක්. ඔහු ප්‍රසිද්ධියේ අපිට දුන් අවවාද, අනුශාසනා, මතවාදී වටිනාකම් හැම තිස්සෙම වගේ වික්ටර්ගේ ගායනා ඉස්මතු කළ ‘ජීවිතයට ඇලුණු’ අදහස්වලට විරුද්ධවයි පෙනී හිටියේ. සමහරවිට මේ පසුගාමී මතවාදවලට වික්ටර් පුද්ගලයෙක් හැටියට තනිව වගකිව යුතු නැති වුණත්, වික්ටර් සහ ඔහුගේ සමීපතයින් දැන් පත්වෙලා ඉන්න තත්වය ඒ මතවාදයේ අසාර්ථකබව සහ දරුණුකම එළියට ගේනවා. පවුල, දරුවන්, මානුෂික සබඳතා, මුදල්, සමාජ බලය, මාධ්‍ය, සංස්කෘතික අධිකාරිය වගේ සංකල්ප ගොඩක් එක්ක මේ සංවාදය සම්බන්ධ යි. ඉතින් ඒ නිසාම මේ සිදුවීමේ පසුබිම නොසඟවා සංවාදයට ගත යුතු වැදගත් මාතෘකාවක්. 

එක පැත්තකින් වික්ටර්ගේ ගීතවල එන ශෘංගාරාත්මක ජීවිතය අත්පත් කර ගන්න මේ සමාජය ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ කියන එක පැහැදිලි යි. ඒ නිසා පසුබිම කොච්චර ආදරණිය වුණත්, නැත්නම් අනතුරුදායක වුණත්, තමන්ට අවංකව ගත්ත තීරණයක් හැටියට වික්ටර්ගේ මේ තීරණය අගය කරන්නම ඕනෑ. වයස, මුදල්, සමාජ සම්බන්ධතා අතරින් වික්ටර්ට වගේම අපි කාටත් ඇත්තටම ‘ජීවිතය’ ලැබිලද කියන එක ඇහැට පේන, වචනයට නගන්න පුළුවන් සරල තත්වයක් නෙමෙයි. ඒ අභියෝග ජයගන්න පුළුවන් ශක්තිය හැමෝටම ප්‍රර්ථනා කරන ගමන්ම මේ සිද්ධියට සමාජයක් විදියට ප්‍රතිචාර දැක්වීමත් වැදගත්. 

තමන් හිතන පතන විදිහ මේ වගේ තීරණාත්මක සිදුවීමක් එක්ක ගැට ගැහීමත් අද සමාජ අවශ්‍යතාවයක්. සමහරවිට සිදුවීමක හැඩය තව දුරටත් වෙනස් කරන්නත් මේක හේතු වෙනවා. ඒ වගේම ‘ප්‍රසිද්ධ’ වීමේ අතුරු ප්‍රතිපලයක් තමයි අනිත් අයගේ අදහස්වලත් ජීවත් වීමට සිදු වීම. මේ සංවාදයට එකතු වෙන බොහෝ පිරිස් වික්ටර්ගේ ගායනයෙන් වෑහෙන ‘ජීවිතය’ සහ සංස්කෘතික මතවාදය අතර අතරමං වූ අය බව පැහැදිලියි. වික්ටර් රත්නායක සහ ලෙලුම් රත්නායක මේ වෙලාවේ නියෝජනය කරන්නේ මේ අන්ත දෙක. එකම පුද්ගලයා වුණත් ජීවිතේ මුහුණ දෙන්න වෙන සංකීර්ණතා එක්ක පීඩකයෙක් සහ පීඩිතයෙක් වෙන හැටි දකින්න මේ සිදුවීම උදව් වෙනවා.

මහා පෞරුෂවල බලපෑමට යටවුනු අය ලෝකය පොඩියට දැකීම ඒ අයගෙම වරදක් නෙමෙයි. ලෙලුම් රත්නායක මේ වෙන තෙක් ජීවිතයේ අනුගමනය කරන්න ඇත්තේ තමන්ගේ තාත්තා කියන මහා සමාජ පෞරුෂය නිර්දේශ කළ වටිනාකම් වෙන්න ඇති. අපිට වික්ටර් රත්නායක කියන ගායකයා ලොකු වුණාට, ලෙලුම් කොහොම කිව්වත්, ලෙලුම්ට වැදගත් වෙන්නේ තාත්තා සහ ඔහුගේ පුද්ගලික ජීවිතයෙන් කාවැද්දූ වටිනාකම් වෙන්නත් ඇති. ඒ නිසා ඒ වටිනාකම් එක පාරටම අත ඇරලා ඇත්ත ජීවිතයට කරණමක් ගහපු තාත්තාව තේරුම් ගන්න ලෙලුම්ට ලැබිලා තිබුණු එකම දැණුම ‘වශී ගුරුකම’ වීම පුදුමයකුත් නෙමෙයි. ඒ අරුතින්, කම්පනයට පත් වුණු ලෙලුම් තාත්තව බේරලා දෙන්න කියමින් අපෙන් ඉල්ලන්නේ, ඇත්තෙන්ම තමන්ට මේ පරස්පරය තේරුම් ගන්න විදිහක් කියලා දෙන්න කියලා වෙන්නත් පුළුවන්. එහෙම නම් පුද්ගලික ජීවිතයේ ‘නිදහස’ අස්සට රිංගලා වික්ටර් මග අරින්න හදන්නෙත්, ඒ වෙනුවෙන් පෙනී ඉන්න අය හදන්නෙත් ලෙලුම්ට වගේම, ඒ අධිකාරී සංස්කෘතික මතවාදයට අහුවුණු පරපුරකට උත්තරයක් නොදී මාරු වෙන්න. 

ඒත් වික්ටර් කියන්නේ මේ සදාචාරවාදී ධාරාවේ ගොදුරක් විතරක්ම නෙමෙයි; ඒ ධාරාව වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී හිටපු කෙනෙක්. ඒ නිසා වික්ටර්ගේ මේ පරිවර්තනය නිසා විතරක් බොහෝ අය කියන විදිහට වික්ටර්ට ලේසියෙන් උද්දච්ච ‘ජයග්‍රාහකයෙක්’ හරි ‘ආදර්ශමත් පෙම්වතෙක්’ හරි වෙන්න බැහැ. ඒ තත්වෙට එන්න නම් ලෙලුම්ටත්, අපිටත්, වික්ටර්ගෙන් අතීතය ගැන සුහද පසුතැවීමක්, වර්තමානය ගැන උදාන වාක්‍යයක්, එහෙම නැත්නම් ආදර්ශමත් ආත්ම විචාරයක්වත් ලැබෙන්න ඕනැ. එහෙම නැතුව පෞද්ගලික ජීවිතය අස්සට රිංගලා සමාජ ප්‍රතිචාර ප්‍රත්ක්ෂේප කිරීම මේ වෙලාවේ එච්චර ප්‍රයෝජනවත් නැහැ. තමනුත් දායක වූ පසුගාමී වටිනාකම්වලින් පීඩනයට පත්වුණ සමාජ පෞරුෂයක් හැටියට වික්ටර්ට පුළුවන් මේ වෙලාවේ වටිනා සංවාදයකට මුල පුරන්න. සුබ පැතුම්...!

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...