අමරණීය කතුවරයාගේ මරණය... (1)


‘කතුවරයාගේ මරණය’ (The Death of the Author) කියන්නේ හැටේ දශකයේ අග හරියේ ඉඳන් බටහිර විචාරවේදය කම්පනය කළ අදහසක්. මේ සංකල්පයේ යම් යම් හෙවනැලි දාර්ශනික ඉතිහාසය පුරා තිබුණත් ඒ අදහස හරියටම මතු වෙන්නේ භාෂාවයි ලිවීමයි ගැන එවකට ප්‍රංශ දාර්ශනිකයෝ වෙනස් විදිහකට හිතන්න ගැනීමත් එක්ක. රෝලන්ඩ් බාත් සහ මිෂෙල් ෆූකෝ නොයෙක් පැතිවලින් ‘කතුවරයාගේ මරණය’ සංවාදයට ගන්නවා.


රෝලන්ඩ් බාත් මේ ගැන ලියන එයාගේ ලිපියේ (1967) මුලින්ම ප්‍රශ්න කරන්නේ අපි ලියන, කියවන, අර්ථ දක්වන අදහස්වල ප්‍රභවය ගැන. කෘතියක තේරුම සහ අදහස්වල මූලය පැන නගින්නේ කතුවරයාගෙන් කියන එකයි සාමාන්‍ය මතය. Auteur (කතුවරයා) කියන ප්‍රංශ වචනය බිඳී එන්නෙම Auctor (ප්‍රභවය) කියන ලතින් අරුතෙන්. ඒත් භාෂාව සහ ලිවීම කියන්නේ කතුවරයාට කලින් පවතින, බහු අරුත් මතු කරන, කතුවරයාට සම්පූර්ණයෙන් පාලනය කරන්න බැරි දෙයක් කියලා බාත් යෝජනා කරනවා. සිංහල භාෂාවේ ‘කතුවරයා’ හෝ ‘ගත්කරැ’ වගේ වචන ‘ප්‍රභවය’ වගේ අදහසක් කොහොමත් ඉඟි කරන්නේ නැහැ. ඒ නිසා ‘කතුවරයාගේ මරණය’ ඉල්ලා සිටීම අපිට ටිකක් අනවශ්‍ය උත්සාහයක් වගේ පේන්නත් පුළුවන්.


බාත්ට අනුව, ලේඛණයක යටින් ඇහෙන වෙන්කර ගන්න බැරි දෘෂ්ටි කෝණ ගොඩක්, හඬවල් ගොඩක් තියෙනවා. ලිවීම එක්ක ලේඛකයාට කරන්න පුළුවන් මේ එකිනෙක වෙළුණු හඬවල් අවදි කිරීමත්, තේරුම් ගොඩක් පෙළ ගැස්වීමත් විතරයි. කතුවරයා කියන පුද්ගලයා තමන්ටම අයිති අදහසක් ලිවීම පටන් ගන්න මොහොතේම, ඒ අදහස ලේඛණයට මුදාහරින කොටම, භාෂාවට ආවේණික බහු අරැත් එක්ක විවිධ හඬවල් මතු වෙනවා. ඒ නිසා බාත් කියන්නේ ලිවීම කියන්නෙම ‘කතුවරයාගේ මරණය’ සිද්ධවෙන මොහොත කියලයි. අදහස්වල අයිතිකාර ‘කතුවරයා’ වෙනුවට ඉතිරි වෙන්නේ නිකම්ම ලේඛකයෙක් විතරයි. 


ලේඛණයක එන විවිධ හඬවලට ඇහුම්කන් දෙන්නේ, අදහස් තමන්ට ඕනෑ විදිහට තෝරා බේරා ගන්නේ සහ තේරුම් ගොඩනගා ගන්නේ පාඨකයා. ඒ නිසා බාත් යෝජනා කරන්නේ කෘතියක එන අදහස්වල සහ අර්ථ දැක්වීම්වල නියම අයිතිකාරයා විය යුත්තේ පාඨකයා කියලයි. බාත් ලිපිය ඉවර කරන්නේ පාඨකයාගේ උපත හැම තිස්සෙම කතුවරයාගේ මරණය මතින් සිදු වෙන බව කියමින්.


මිෂෙල් ෆූකෝ ඉතාම සියුම්ව බාත්ව විවේචනය කරනවා. භාෂාව ගැන, පාඨකයා ගැන ෆූකෝගේ මතය බාත්ගේ අදහසට ගොඩක් සමාන වුණත්, ඊටත් වඩා ආන්තිකයි. ෆූකෝගේ අදහස වෙන්නේ ‘කතුවරයා කියන සංකල්පය’ හට ගන්නේත් පාඨකයාගේ අර්ථ දැක්වීමක් විදිහට බවයි. ඒ කියන්නේ ලිවීමට කලින් කතුවරයා කියලා කෙනෙක් නැහැ. ලිවීමෙන් පස්සෙත් කතුවරයා කියලා ‘පුද්ගලයෙක්’ නැහැ. නමුත් කෘතියක් තිබීම නිසා ප්‍රායෝගික පහසුව වෙනුවෙන් පාඨකයා ‘කර්තෘත්වය’ කියන අදහස ඇති කර ගන්නවා. සම්මතයක් හැටියට කෘතිය උත්පාදනය කිරීම වෙනුවෙන් ‘කතුවර’ වගකීම ‘ලේඛකයා’ වෙත පවරනවා. මේ උත්ප්‍රාසාත්මක අදහස එන විදිහට ෆූකෝ එයාගේ දේශනය (1969) නම් කරන්නේ ‘කතුවරයා යනු කුමක්ද?’ (What is an Author?) කියන සිරස්තලයෙන්. 


කතුවරයාගේ මරණය වෙන්නේ ලිවීමත් එක්ක කියලා බාත් කිව්වට, ‘කර්තෘත්වය’ කියන කාර්යභාරය නැත්නම් වගකීම උපදින්නේම ලිවීමත් එක්ක බවයි ෆූකෝ අදහස් කරන්නේ. ඊලඟට, එකම ලේඛකයාගේ වුණත් එකිනෙකට වෙනස් කෘති මතුකරන කර්තෘත්වයේ හැඩය වෙනස්; ඒ කියන්නේ කර්තෘත්වය ඒ ඒ කෘතියට ආවේණිකයි. නමුත් අපි මේ කෘතිවල එකිනෙකට වෙනස් කර්තෘත්වය  සිරිතක් විදිහට, අයිතියක් විදිහට අදාළ ලේඛකයාටම පවරනවා.


බාත් සහ ෆූකෝ තවත් වැදගත් අදහසක් ඉස්මතු කරනවා. ඒ කෘතිය (work) සහ වියමන (text) කියන වෙන් කිරීම. කෘතියක් (work) පාඨකයා විසින් අර්ථ දැක්වීමෙන් තමයි වියමන (text) උපදින්නේ. එතකොට, යම් කෘතියක් කතුවරයාට අයිති වුණත් හැම තිස්සෙම වියමන අයිති පාඨකයාට. වියමන ඉස්සරහා කෘතියේ නිර්මාණකාරයාත් පාඨකයෙක්. මේ අදහස සිනමාවට ආදේශ කළොත්, කෘතිය (film) සිනමාකාරයෝ නිර්මාණය කළත් ඒකේ වියමන (text) කියන්නේ නරඹන්නාගේ අර්ථ දැක්වීමක්.


බාත් සහ ෆූකෝ දෙන්නම කියන විදිහට ‘කතුවරයා’, එහෙම නැත්නම් කෘතියක එන අදහස්වල ප්‍රභවය ලේඛකයාය කියන අදහස නීතියට, සදාචාරයට, සහ වෙළඳ පොළට පහසු වෙන විදිහට නූතනත්වය එක්ක අපි හදාගත්ත අදහසක්. අනාගතයේදී මේ අදහස වගේම, කර්තෘත්වය ලේඛකයාට පැවරීමේ සිරිතත් අතුරුදහන් විය යුතුයි කියලා බාත් සහ ෆූකෝ දෙන්නම හිතනවා. එතකොට කෘතියක එන අදහස් කැමති විදිහට මතුකර ගන්න, අපරිමිත විදිහට අර්ථ දක්වා ගන්න පාඨකයාට නිදහස ලැබෙයි කියන එකයි බලාපොරොත්තුව.


රෝලන්ඩ් බාත් සහ මිෂෙල් ෆූකෝ කියන දෙන්නම දැන් මිය ගිහින් ගොඩක් කල්. අපිට මේ ලේඛකයෝ දාර්ශනිකයෝ කිසි කෙනෙක් හැබැහින් මුණගැහිලා නැහැ. අපි මේ අය ගැන දැන ගන්නෙම ඒ අයගේ කෘතිවලින් (works) අපි ගොතන වියමන් (texts) හරහා විතරයි. 


ඒ වියමන්වලින් උපදින කර්තෘත්වය ඇත්ත පුද්ගලයින්ට මොන තරම් සම්බන්ධද? අපිට මේ කතුවරයින්ගේ නම් වටින්නේ ඇයි? කෘතියෙන් සහ කතුවරයින්ගේ නම්වලින්වලින් වියමන මොන තරම් පාලනය කරනවද? අපි ගොතන වියමන කෘතියෙන් සහ කතුවරයාගෙන් මුලුමනින්ම නිදහස් ද? එහෙම නැත්නම් අපි ආපහු කැරකිලා ඇවිත් ඉන්නේ ‘කෘතිය කර්තෘ අමරණීය කරයි’ කියන රොමෑන්ටික් අදහසටම ද? මේ ප්‍රශ්න මාලාව අපිට අපේ හැම සංවාදයක් ඇතුළෙම නැවත නැවතත් ඇහෙනවා...


—‘අපි සව්දිය පුරමු’ ඔබේ සාධාරණ අදහස්, සංවාදය සහ ලිපි බෙදා හදා ගැනීම ඉහළින්ම අගය කරනවා—

Comments

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...